ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම බව පිළිගැනීමත් සමඟ පලස්තීනයේ විරෝධතා ව්‍යාපාර හට ගත්තා.



විරෝධතාකරුවන් ඊශ්‍රායල ආරක්ෂක අංශ සමඟ ගැටුණ අතර තව දුරටත් විරෝධතා ව්‍යාපාර පවතිනු ඇතැයි අනුමාන කෙරෙනවා.


ජෙරුසලම ඊශ්‍රායලය සහ පලස්තීනය යන දෙපිරිසම තම අගනුවර ලෙස සැළකූ අතර ඉන් එක් පාර්ශවයක් ගැනීමෙන් ඇමරිකාව විසින් මැදපෙරදිග සාම වැඩපිළිවෙල අනතුරේ හෙළා තිබෙනවා.

පලස්තීනයේ හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව තමන්ට එරෙහි යුධ ප්‍රකාශ කිරීමක් බවයි. මේ අනුව ඊට එරෙහිව කැරැල්ලක් (ඉන්ටිෆාඩාවක්) ක්‍රියාවට නගන ලෙස ඔවුන් කියා සිටියා.

මේ අතර අරාබිකරයේ රටවල් බොහොමයක් ට්‍රම්ප්ගේ ක්‍රියාව විවේචනය කළා.

1948 දී ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වූ අවස්ථාවේ ජෙරුසලමේ බටහිර කොටස ඔවුන් යටතේ වූ අතර නැගෙනහිර ජෙරුසලම ජෝර්දාන පාලනය යටතේ පැවතියා. ජෙරුසලම සම්පූර්ණයෙන් ඊශ්‍රායල පාලනයට යටත් වූයේ 1967 සය දින යුද්ධයේදියි.