තංගල්ල කුඩාවැල්ල නගරයේ රජයේ බැංකුවකට ඊයේ (05 වැනිදා) පෙරවරු 9.50 ට පමණ කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු ගනුදෙනුකරුවන්ට වෙඩි තබා බැංකු නිලධාරීන් භීතියට පත්කර රුපියල් හැට ලක්‍ෂයක මුදල් කොල්ලකාගෙන පලාගොස්‌ ඇත.

කොල්ලකරුවන්ගේ

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි කේ. ඒ. සමන්ප්‍රිය මහතා තංගල්ල රෝහලට ඇතුළත් කර සිටී.

මෙම කොල්ලකෑම සඳහා කොල්ලකරුවන් දෙදෙනකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇති අතර ඔවුන් ටී 56 ගිනි අවියකින් සහ මිලිමීටර් 09 වර්ගයේ පිස්‌තෝලයකින් සන්නද්ධව සිටි බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මුහුණු ආවරණය කරගත් හිස්‌ වැසුම් පැළඳ සන්නද්ධ කොල්ලකරුවන් හතර අතට වෙඩි තබමින් බැංකුවට කඩා වැදී ඇත. ඒ වන විට ගනුදෙනුකරුවන් විශාල පිරිසක්‌ බැංකුවේ සිට ඇති අතර කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එක්‌ අයකු තුවාල ලබා ඇත.

කොල්ලකරුවන් දෙදෙනා මුදල් අයකැමිවරුන් සතුව තිබූ හැටලක්‍ෂයක පමණ මුදල් කොල්ලකාගෙන ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස්‌ තිබේ.

සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ තංගල්ල පොලිසිය කුඩාවැල්ල නගරයේ මාර්ගවලට බාධක යොදවා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ ද සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

තංගල්ල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලලිත් හෙට්‌ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු - පද්මසිරි ගාර්දියවසම්