මහජන බැංකුවේ ශාඛාවක සේවකයින් හට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ‍්‍රය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මහජන බැංකුවේ සේවකයින් හත් (7) දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස 21 වැනි දින මහජන බැංකුවේ අම්පාර ශාඛාවට පැමිණි ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සේවකයින් පිරිසක් ශාඛා කළමණාකාරවරයාට තර්ජනය කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් බැංකුවේ කළමණාකාරිත්වය විසින් පැවැත්වූ පරික්ෂණයකින් පසු මෙම පියවර

ගෙන ඇත.

මෙම වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස විනය විරෝධි ලෙස හැසිරී ඇත්තේ බැංකු පරිශ‍්‍රය තුළ වීම නිසා ශාඛාවේ රාජකාරී කටයුතු වලට ද බාධා එල්ල වී තිබේ.

මහජන බැංකුවේ ක‍්‍රියාත්මක වන සේවක චක‍්‍රලේඛ අනුව සාමාන්‍යාධිකාරීතුමන්ගේ අනුමැතියකින් තොරව ශාඛා පරිශ‍්‍රයන් තුළ පත‍්‍රිකා බෙදීම, බැනර් ප‍්‍රදර්ශනය කිරීම, රැුස්වීම් පැවැත්වීම, අත්පොත් බෙදීම වැනි කටයුතු සිදු කිරීම විෂමාචාරයක් වන අතර අදාල චක‍්‍රලේඛයන් උල්ලංඝනය කරමින් එවැනි කටයුතු සිදු කරන සේවකයින් සම්බන්ධයෙන් විනය නීති අනුව ක‍්‍රියාකළ යුතුය.


බැංකුවේ විනය සංග‍්‍රහය අනුගමනය කරමින් සහකාර සාමාන්‍යාධිකාරිවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් අදාල සේවකයින් විසින් අම්පාර ශාඛාවේ සිදු කරන ලද විෂමාචාර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීය. ඒ අනුව, එම පරික්ෂණ මගින් නිර්දේශ වූයේ අදාල සේවකයින් හත් දෙනා බැංකුවේ චක‍්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති නිසා ඔවුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ යුතු අතර චෝදනාපත‍්‍ර නිකුත් කිරීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

අදාල සේවකයින් සේවයේ රැුඳී සිටිමින් එම පරික්ෂණ සඳහා බාධා හා බලපෑම් එල්ල කිරිමේ සහ බැංකුවේ කටයුතු අඩපණ කිරිමේ අරමුණින් විවිධ කටයුතු සිදු කිරීමේ උත්සාහයක ද නිරත වීම හේතුවෙන් බැංකුවේ විනය නීති පටිපාටිය අනුව, විනිවිදභාවයෙන් යුතු නිදහස් හා සාධාරණ පරික්ෂණයක් පවත්වාගෙන යාමට එල්ල විය හැකි බාධාවන් වලක්වා ගැනීම සඳහා මෙවැනි තීරණයක් ගෙන ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ කිසිදු පාර්ශවයක බලපෑමක් මත නොවන බව මහජන බැංකුව අවධාරණය කර සිටියි.

තවද, අදාල සිදුවීම සම්බන්ධයෙන් බැංකුව විසින් අම්පාර පොලීසියට සහ පොලිස් මූලස්ථානය වෙත ද පැමිණිලි කළ අතර පොලිස් දොපර්තමේන්තුව විසින් ද ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වයි.

මහජන බැංකුව සේවා සපයන ආයතයක් වන බැවින් බැංකුවේ කටයුතු වලට හානි කරවන ආකාරයේ විෂමාචාර සිදුකරන සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම මහජන බැංකුවේ පැවැත්ම හා උන්නතිය වෙනුවෙන් අත්‍යාවශ්‍ය කරුණක් බව මේ ගැන බැංකුව පළ කර තිබෙන නිවේදනයේ දැක්වේ.