ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන Gsp සහනය අහමිවීමෙන් ලංකාවට අවාසියක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.



“ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි.


එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ.

මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.

අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ. ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.

ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි.

 GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.

තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.”