ආගමික නම්වලින් දේශපාලන පක්ෂ හැඳින්වීම නැවැත්විය යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ ඉකුත්දා කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.

එහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද පැවැසීය.
අපේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ බිහිවෙලා තිබෙනවා ආගම් හා ජාතීන්ගේ නම්වලින්. මේ දේශපාලන පක්ෂ බිහිවී ඇත්තේ රට එක්සත් කිරීමට නෙවෙයි. රට කෑලි කෑලිවලට කඩලා වර්ගවාදීව ජාතිවාදීව කුලවාදීව බෙදා වෙන් කිරීමටයි.

එහෙම ජාති, කුල, ආගම්,

ප්‍රදේශවලින් වෙන් කරන්න හොඳ නෑ කියන එක විතරක් නෙවෙයි මේ පාසල් පද්ධතිය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් එකට ඉගෙන ගන්න තැනක් බවට පත් කිරීමෙන් තමයි මේ ජාතීන් එක්සත් කරන්න පුළුවන් වෙන්නේ කියන එකයි මගේ මතය.

ජාති ආගම් කුල වර්ණ ගෝත්‍ර ලිංග භේද නොතකන මහා විශිෂ්ට ධර්මයක් තමයි බුද්ධ ධර්මය කියන්නේ. අපේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය ජනවාර්ගික සාමය බිහි කිරීමයි. ඒක බිහි කරන්න පුළුවන් වෙන්නේ දේශපාලකයන්ට පමණක් නෙවෙයි. මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන් සියලු දෙනාටම සම තැන, සම අයිතිවාසිකම් සහ එකට ඉගෙන ගන්නා පරිසරයක් නිර්මාණය කිරීම තුළ ඔවුන් එක්සත්ව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියන එකයි මගේ මතය.

මෙරට ඉගෙනුම ලබන පාසල් දරු දැරියන් දෙස බැලීමේදී සමහර අයගේ විභාග ප්‍රතිඵල හොඳයි. නමුත් ගුණධර්ම අතින් බරපතළ පිරිහීමක් ඇතිවෙලා තියෙනවා.

හර්ෂනී අර්සකුලරත්න