සිම්බාබ්වේ දේශයේ පසුගිය සතියේ ඇතිවූ දේශපාලන පෙරළිය නිසා එරට වසර 37 ක් තිස්සේ පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට පත්වූ අතර රටේ පාලනය තාවකාලිකව හමුදාව අතට පත්විය. අනතුරුව
හමුදා ප්‍රධානීන් දන්වා සිටියේ ගෞරවනීය ලෙස මුගාබේට බලය අතහැර යන ලෙසයි. 93 හැවිරිදි රොබට් මුගාබේ දැන් කල්පණාව අඩු රට පාලනයට නුසුදුසු මට්ටමක සිටින අතර ඔහුගේ 52 හැවිරිදි බිරිය ග්‍රේස්ට රට බාරදී තවදුරටත් පාලනය තමන් භාරයේ තබාගැනීමට ඔහු උත්සුක වූ වෙලාවේ මෙම හමුදා මැදිහත්වීම සිදු විය.
එරට උප නායකයාට නීත්‍යානුකූලව බලය පවරාදීම හමුදාවේ අභිලාෂය වුවත් මුගාබේ එයට අකමැතිවී තිබෙන බව මේ වනවිට වාර්තාවෙයි.
හමුදා පෙරළියෙන් පසු මුගාබේට සිදුවූ දේ වසන්වී තිබුණත් පසුව පසුගිය බ්‍රහස්පතින්දා මුල්වරට මුගාබේ සහ පිරිස සමග හමුදාව සාකච්ඡා පවත්වන දර්ශන මාධ්‍ය වෙත නිරාවරණයවීමෙන් පසු ඔහුට සිදුවූදේ ජනතාවට සැලවිය. එම අවස්ථාවේ ග්‍රේස් මුගාබේ පෙනෙන්නට නොතිබුණ අතර රොබට් මුගාබේ තම බලය අතහැර යාමට ඇති අකමැත්ත දිගින් දිගටම පළකර තිබුණි.
මේ අතර සෙනසුරාදා සිම්බාබ්වේ ජනතාව පාරට බැස ඉල්ලා සිටියේ රොබට් මුගාබේට බලය අතහරින ලෙසය.මෙම ජනතා පෙළගැස්ම විදෙස් මාධ්‍ය වලද වාර්තා වූ අතර ඒ ජනතාව කිසිදු හමුදා හෝ පොලිස් බලපෑමකින් තොරව පාරට බැස්ස බවද වාර්තා කර තිබුණි.
දැන් පවතින තත්වය අනුව සිම්බාබ්වේ අනාගතය අවිනිශ්චිතව පවතී.
මුගාබේ සමග හමුදාව බ්‍රහස්පතින්දා පැවැත්වූ සාකච්ඡාවට අදාළ ඡයාරූපය පහතින්