ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියවීමත් සමග එහි ඇතුළත් චරිතවලටත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. එවැනි එක් චරිතයක් තමයි අංජානි කියන්නේ. කූඹියෝ හි අංජානිගේ චරිතය නිරූපණය කරන්නේ සුජීවා ඩයස්. සුජීවා කියන්නේ
පුංචි තිරයට ආගන්තුක නිළියක් ‍නෙවෙයි. නමුත් මෑතකදී වෙනත් ටෙලි නිර්මාණවලින් ඇයව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඇගේ ඒ නිහැඩියාවට බලපෑ හේතුව මොකක්ද කියන කාරණයක්.

කූඹියෝ නාට්‍යය නිසා ඔබට ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන ගොඩක් සතුටුයි. වසර ගණනාවක් ක්‍ෂේත්‍රයේ හිටියත් මට මේ වගේ ඉහළම ජනප්‍රියත්වයක් ලැබුණේ කූඹියෝ නාට්‍යයෙන් තමයි.


කූඹියෝ ටෙලි නාට්‍යයේ අංජානිට ඉදිරියේදී මොනවා වෙයිද?
එෆ්.බි. එක හරහාත් මේ දවස්වල මගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නය තමයි ඕක. මම හිතන්නේ මම ඔය ප්‍රශ්නයට උත්තර දෙනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයින්ට ටෙලි නාට්‍ය නරඹලාම ඒකට උත්තරයක් හොයාගන්න ඉඩ දෙන එක.

සුජීවා නිළියක් වුණේ කොහොමද කියලා මතක් කළොත්?
මම පාසල් කාලෙදිම වගේ පැජන්ට් එකකට සහභාගි වුණා. ඒ විතරක් ‍නෙවෙයි. මම ඒකේ අන්තිම දහදෙනා අතරටත් තේරී පත් වුණා. ඒ ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක පස්සේ වෙළෙඳ දැන්වීම් කීපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ නාට්‍යයෙන් තමයි මම ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වුණේ ඒ  2008 වසරේදී.


මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
ටෙලි නාට්‍ය 15ක විතර මම රඟපාලා තියෙනවා.

හැබැයි සෑහෙන කාලෙකට පස්සෙයි සුජීවාගේ රංගනයක් පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ?
ඔව්. මගේ පදිංචිය නුවර. නුවර ඉඳන් කොළඹ ඇවිත් ටෙලි නාට්‍යවලට දායක වෙන එක මට හුඟක් අසීරු වුණා. ඒ නිසා මම රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලයි තිබුණේ.

නමුත් ඔබට රඟපෑමෙන් සදහටම ඉවත් වෙන්න සිදුවුණේ නැහැ?
ඔව්. මගේ නිහඬතාව අලුත් ගමනක ආරම්භයක් වුණා.

ඒ කිව්වේ?
මම අන්තිමට රඟපෑවේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කූඹියෝ රූගත කළේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එක්කම මමත් රඟපෑම නතර කළා. වසර ගණනකට පසුව දැන් කූඹියෝ විකාශය වනවා. ඒත් එක්ක මමවත් හිතපු නැති තරම් ජනප්‍රියත්වයක් මට ලැබිලා තියෙනවා. කූඹියෝ නිසා මට දැන් එක දිගට  ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක මම ඉබේම වගේ ආයෙමත් රංගනයට යොමු වුණා.

ඒ කියන්නේ සුජීවා දැන් රංගන කටයුතු නිසා කාර්ය බහුල වෙලා ඇති?
ඔව්. මේ දිනවල මම මේ මල් වසන්තයයි ටෙලි නාට්‍යයේ රඟපානවා. තවත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී එක්වෙන්නත් හිතාගෙන ඉන්නවා.

සුජීවාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමුද?
මගේ සැමියා ගීතාන් ඩයස්. මගේ කලා කටයුතුවලට උපරිම සහයක් ඔහුගෙන් ලැබෙනවා. මට ලොකු පුතෙක් ඉන්නවා. පුතාගේ නම කෙවින්. පුතා මේ වෙන කොට මහනුවර ත්‍රිත්ව විදුහ‍ලේ 10 වසරේ ඉගෙන ගන්නවා.

ආරියවංශ කුලතිලක (lakbima)