මෙවර අය වැය යෝජනාවලිය හරහා ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම, ණය ගෙවිමේ විශේෂ බද්දක් පනවා ගනුදෙනුවලින් බදු අය කර බැංකු කර්මාන්තය අඩපණ කිරීමට රජය සැරසෙන බව දක්වමින්
ඊට එරෙහිව

ලංකා බැංකු සේවක සංගමය ඊයේ (28) ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.
මෙවර අයවැයෙන් ‘මැද මුලන බද්ද‘ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වමින් මුදල් ඇමතිවරයා  යෝජනා කර තිබෙන ණය ගෙවිමේ විශේෂ බද්ද පැනවීමෙන් සෑ‍ම ගනුදෙනුවකදීම රුපියල් 1000කට් ශත 20ක් අය කරන බව පෙන්වා දෙන ලංකා බැංකු
සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මෙය බැංකුව මගින් ගෙවිය යුතු බවට රජය කිව්ව ද, අවසානයේ බැංකුව එම මුදල වක්‍රාකාරව ගනුදෙනුකරුවන්ගෙන් අයකර ගන්නා බැවින් බද්ද ඉවත් කළ යුතු බව කියයි.
මෙම විරෝධතාව රට පුරා  ගෙනයන බවත් අද (29) දහවල් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී සහ අනිද්දා දහවල් ජාතික
ඉතිරි කිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ සංවිධානය කර ඇතැයි ඔහු කියයි.