රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් සංවිධානය කළ 2015 වසරේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරීත්වය කෙරෙහි නීතිය සහ විධිවිධාන නිසි කළමනාකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ හොඳම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය
ඇමැති පලනි තිගාම්බරම් මහතා විසින් මෙහෙයවනු ලබන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමිව ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති උත්සවයකදී මෙම සම්මානය පිරිනැමිණි. ඒ අනුව රජය මඟින් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස යොදා ගනිමින් කඳුකරයේ වතු ප්‍රජාවට සේවය සැලසූ ඇමැති තිගම්බරම් මහතාගේ අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය අමාත්‍යාංශ ලේකම් රංජිනී නඩරාජපිල්ලෙයි මහත්මිය වෙත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමිණි.

2015 වසරේදී රජයට සම්බන්ධ අමාත්‍යාංශ, සංස්‌ථා, දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන 831 ක්‌ සමීක්‌ෂණය කර එයින් ආයතන 80 කට මෙලෙස රන් හා රිදී පදක්‌කම් ප්‍රදානයන් ලබාදී ඇත.

ඇමැති තිගම්බරම් මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වතු ප්‍රජාව වෙනුවෙන් පර්චස්‌ 7 කින් යුතු තනි නිවාස 5000 කට අධික ප්‍රමාණයක්‌ ඉදිකර ඒවා ජනතා අයිතියට පත්කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

සුජීව තත්සර