පාකිස්තානය තනි නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල
මහතා ඉරිදා (ඔක්තෝබර් 29දා) පැවැසීය.

එසේම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පදනමක් වැටී ඇත බවත් ඔහු සඳහන් කළේය.

2009 වසරේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත සිවුවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රියාකාරකම ලෙස ඉරිදා පැවැති තරගය වාර්තා අතරට එක්වෙයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ගැටලුවක් ඇතිවිය.

“පාකිස්තානයට යාමට ලැබීම ගැන සතුටක් හා ගෞරවක් තිබෙනවා. අපිට පාකිස්තානයට තනි වෙන්න දෙන්න බෑ. මොකද අපිත් වසර 30 ක යුද්ධයක් නිසා තනිවුණ ජාතියක්” යැයි සුමතිපාල පවසයි.

“ පාකිස්තාන, ශ්‍රී ලංකා හා ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරග සඳහා උනන්දුවක් දක්වනවා. පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඒ අවස්ථාව ලැබීය යුතුයි. ඒක නිසා අපි මේ කණ්ඩායම එව්වා. ඒ වගේම මෙය මෙතැනින් නිමා වෙන්නේ නෑ. අපි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින් පාකිස්තානයට යොමුකරනවා”

එසේම අනෙකුත් ආසියානු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පාකිස්තානයට උපකාර කළ යුතු බවත් සුමතිපාල පවසයි.

“ පාකිස්තානයේ ක්‍රිකට් දුර්වල වුණොත් ආසියාවේ ක්‍රිකට් දුර්වල වේවි. ආසියානු ක්‍රිකට් දුර්වල වුවොත් ලෝක ක්‍රිකට් දුර්වල වේවි” යැයි ඔහු පැවැසීය.