පුවත්පත්වල සහ අන්තර්ජාලයේ පළවන මංගල දැන්වීම ඔස්සේ රටපුරා අසරණ කතුන් රවටා ලක්ෂ ගණන්වංචා කරන ලද බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
ඔහු අල්ලාගන්නට මුල්වූ සිද්ධිය පහත පරිදිය.
ගාල්ල ප්‍රදේශයේ තිස්අට හැවිරිදි රජයේ නිලධාරිනියත 2015 වසරේ අන්තර්ජාලය ඔස්සේ මංගල දැන්වීමක් පළකර තිබේ. එයට පිළිතුරු සැපයු පුද්ගලයකු තමා පේරාදෙණිය විහ්වවිද්‍යාලයේ හා ඉන්දියාවේ ගාන්ධි
විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු බවත් එයට අමතරව ස්විට්සර්ලන්තයේ හා එංගලන්තයේ විශ්වවිද්‍යාලවලින්ද පාඨමාලා හදාරා ඇති බවත් දැනට ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන බවත් පවසා ඇත. දැනට හම්බන්තොට වරායේ සහ කොග්ගල ආයෝජන
කලාපයේ ව්‍යාපෘති කිහිපයක් කරන බවත් තමාට ව්‍යාපාරයක් සහ නිවාස තුනක් හිමි බවත් ප්‍රසිද්ධ සමාගමක කොටස් හිමි අධ්‍යක්ෂවරයකු බවත් පවසා ඇති ඔහු මංගල දැන්වීමේ තොරතුරු අනුව ඔබ මට ගැළපේ යයි සිතන බවත් ඇයට පවසා ඇත.

ඒ අනුව දුරකතනය ඔස්සේ තවදුරටත් හඳුනා ගැනීමෙන් පසු දිනක් ඔහු ඇයගේ නිවසට පැමිණ ඇයගේ මව්පියන්ට බුලත් දී වැඳ ආචාරකොට ඔවුන්ගේ ආශිර්වාදයද ලබාගෙන තිබේ. පවුලේ එකම දරුවා ඇය නිසාත් ඇයගේ විවාහ වන වයස
ඉක්ම යන නිසාත් මව්පියන්ද ඇයගේ කැමැත්තට ඉඩදී තිබේ.

ටික දිනක් ගතවූ පසු ව්‍යාපෘති සඳහා හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බවත් ඒ සඳහා මුදල් යොදවන ලෙසත් ඇයට පවසා ඇති ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේවායේ සියලුම ලාබ ඉදිරි කාලයේ ඔබට ලැබෙනවා යනුවෙනි. ඔහු ඉල්ලූ මුදල ලක්ෂ 20ක් වූ අතර ඇය ඔහු ගැන කිසිම සැකයක් ඇති කරගන්නට හේතු නොවූ නිසා කාලයක්තිස්සේ රැස්කරගෙන තිබුණ රුපියල් 1672000 ක් ඔහුට ලබාදී තිබේ.නමුත් එම මුදල ලබාගත් පසුව ඔහුගේ කිසිදු හෝඩාවාවක් තිබී නැත. ඔහුගේ දුරකථන අංක පවා ක්‍රියා විරහිතව ඇත.

පසුව ඇය පොලිසියේ පිහිට පැතුවාය. මූලික පරික්ෂණ වලදී පොලිසිය සොයාගෙන ඇත්තේ
ඔහු සිම් කාඩ්පත් කිහිපයක් භාවිතා කරමින් කාන්තාවන් රවටා මෙසේ මුදල් වංචා කර ඇති බවත් මෙවැනිම චෝදනාවකට මහනුවර අධිකරණයේ වරෙන්තු ලබා සිටින අයකු බවය.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය උපාය දුතිකාවක් යොදවා දුරකතන ඇමතුමක් ලබාදී මහරගම නගරයට ගෙන්වාගෙන අල්ලාගෙන ඇත.
සැකකරු විවාහක දෙදරු පියෙකු වන බවත් වැඩිමහල් පුනාගේ වයස අවුරුදු විසි පහක් වන බවත් දියණිය විසිතුන් හැවිරිදි වියේ පසුවන බවත් එම අවස්ථාවේ අනාවරණය වී ඇත.

අඩු වයසක් පෙන්වා තිබුණත් ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි අයකු බවත් අනාවරණය වී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රැසක් මේ ආකාරයට රවටා විශාල වශයෙන් මුදල් වංචාකර ඇති බවත් බොහෝ දෙනෙකු ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි කර නොමැති බවත් සැකකරන බව පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(උණවටුන ඩී.පි. සුගතපාල)