දන්ත ධාතුව ඌරු දතක් ලලාට ධාතුව සිප්පි කටුවක් කියා 
අපහාස කළ පිටිදූවේ සිරිධම්ම හිමි
මල්වතු හිමිගෙන් වැඳ සමාව ඉල්ලයි



පසුගිය අගොස්තු මසදී සිය ආශ්‍රමයේ ධර්ම කතාවක් අතරතුර බුදු හිමියන්ගේ දන්ත ධාතූන් වහන්සේට හා ලලාට ධාතූන් වහන්සේට අපහාස කරමින් සමන්ත භද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම හිමියන් සිදු කළ ප්‍රකාශයක් නිසා එම හිමියන් නියෝජනය කරන මල්වතු පාර්ශ්වයෙන් එහිමි නෙරපා දමන්නට තීරණය කිරීමෙන් පසු එය වළක්වා ගැනීමේ අටියෙන් ඊයේ ප්‍රසිද්ධියේ මල්වතු මහනාහිමිවරුන්ගෙන් වැඳ සමාව ගන්නට ඒහිමියන්ට සිදුවුණා.
බෞද්ධයින් මිත්‍යාවට හසුවී බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිතා සිප්පි කටුවකට වන්දනාමාන කරන බවත් දන්ත ධාතුව ලෙස සිතා ඌරු දතකට වන්දනාමාන කරන බවත්
මේ ඇත්ත පිළිගන්නට බැරිව ඒ පසුපස යන අය අපාගත

වියහැකි බවත් සිය දේශනයේදී පෙන්වාදී තිබුණ සිරිධම්ම හිමියන් ධාතු කරඬුව ගඟට විසිකරන ලෙසත් ඉල්ලා තිබේ.
රහතන් වහන්සේ නමක ලෙස තමා සෘජු වචන කථාකිරීම හා හෘද සාක්ෂියට අනුව ජීවත්වන නිසා මෙම සත්‍යය පහදා දෙන බවද එම දේශනයේදී පවසා තිබේ.

මෙම දේශනය විමර්ශනය කරන ලද මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව පිටිදූවේ සිරිධම්ම හිමියන්  මල්වතු පාර්ශවයෙන් ඉවත් කිරීමට තීරණයක් ගනු ලැබ ඇති අවස්ථාවේදී
“යම් අයුරකින් මා අතින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශවයට යම් අපහසුතාවයක් ඇතිවුවනම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා. මට සමාව ගන්න ලැජ්ජාවක් නෑ. මම කිසිම තැනක නමක්  සඳහන් කරල දළදා වහන්සේට අපහාස කරල නෑ.”

ආදී ලෙස කරුණු දක්වමින් සිරිධම්ම හිමියන් ඊයේ වැඳ වැටී සමාව ඉල්ලා තිබේ.
සමාව භාරගැනීම ලිඛිතවද සිදුවිය යුතු බවත් තවත් අවස්ථා ඇත්තේ දෙකක් පමණක් බවත් මල්වතු හිමියන් මෙහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත දන්වා ඇත.

තමන් වහන්සේ රහත් භාවය ලබා ඇතැයිද පවසමින් විවිධ අවස්ථාවල සමාජය කුපිත කරවන අසාමාන්‍ය ප්‍රකාශ නිකුත් කරන මෙම හිමියන්ගේ ක්‍රියා කලාපය විවිධ විවේචනයන්ට ලක්ව තිබේ.

එහිමි වසන දෙහිවල පිහිටි ආශ්‍රමය වරක් ගිහි පැවිදි පිරිසක් වටළා තිබුණ අතර පිළියන්දල සිදු කරන්නට ගිය වැඩසටහනකට ප්‍රදේශවාසීන්ගේ කුණු බිත්තර ප්‍රහාරද එල්ල විය. මින් ටික කලකට ඉහත පාප් වහන්සේට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීම නිසාද ආන්දෝලනයක් ඇති කර තිබුණි.

දන්ත ධාතුව ඌරු දතක් ලලාට ධාතුව සිප්පි කටුවක් යයි කියමින් පිටිදූවේ සිරිධම්ම හිමි සිදු කළ ප්‍රකාශය පහතින් - සමාව ගත් අවස්ථාවේ ඡායාරූප ඊට පහතින්