ක්‍රිෂ් ලංකා සමාගමට කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ත් චතුරශ්‍රයෙන් ඉඩමක් බදුදීමේදී රුපියල් කෝටි 7ක මුදල් අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇපමත සිටින හම්බන්තොට දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට යාම සඳහා කොටුව මෙහ්ස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර දුන්නාය.


මේ අනුව ඔහුට මෙම මස 17 වැනිදා සිට ලබන 30 වැනිදා තෙක් විදේශගත වීමට අධිකරණයේ අවසරය ලැබුණු අතර ඒ වෙනුවෙන් ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන හා පිගමන පාලකවරයා වෙත දන්වා යැවීමටද නියම කෙරිණි. සිද්ධියේ සැකකාර නාමල් රාජපක්ෂ මහතා නියමිත නඩු දිනවලදී නිසි ලෙස අධිකරණයට ඉදිරිපත්වී ඇති බවත් මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් අවසර ලබාගෙන විදේශගතවී නියමිත නඩු දිනවලදී නඩුවට ඉදිරිපත්වීමට නියමිත ලෙස පැමිණ තිබීමත් සලකා බලා මෙසේ අවසර දෙන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

අධිකරණයෙන් එසේ අවසර දුන්නේ නීතිඥ මඬුල්ලක් සමග නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිරිෂින් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය. කොටුවේ ට්‍රාන්ස්වර්ත් චතුරශ්‍රයේ ඉඩමක් ක්‍රිෂ් ලංකා සමාගමට බදුදීමේදී රුපියල් කෝටි 7ක මුදල් අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි පැමිණිල්ලෙන් කියැවේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ල වෙනුවෙන්  පෙනී සිරියේය.