කොට්ටාව මත්තෙගොඩ මාර්ගයේ පිහිටි ලංකා සතොස ලෙවි සලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි පවසමින් කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු ඉකුත් 15 වනදා අත්අඩංගුවට පත්වූ බව
කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අය සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති යැයි තමාව හඳුන්වාදෙමින් තර්ජනය කරමින් කලහය සිදු කර ඇත.

මෙම පුද්ගලයා ඉකුත් 15වැනිදා රාති 7.30 ට පමණ අලෙවිසලට පැමිණ එහි අලෙවියට
තබා ඇති කැඩුණු සහල් වර්ගයෙන්, ග්‍රෑම් 250 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් රැගෙන මුදල් අයකැමි වෙත ගොස් බිල් ගෙවීමට යාමේදී, එහි තිබූ සහල් ග්‍රෑම් 250 බිල් කිරීමට නොහැකි බව මුදල් අයකැමි පැවසීමත් සමඟ බහින්බස්වී කතාව දුරදිග ගොස් ඇතැයි පොලිසිය පවසයි. එහිදී මෙම සහල් වර්ගය සත්ත්ව ආහාරයට් යොදා ගන්නා සහල් වර්ගයක් බැවින් මෙය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පවසමින් තර්ජනාත්මකව හැසිරී ඇති ඔහු කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අවට ජනතාවද මෙම ස්ථානයට රැස්ව තිබේ.
පසුව පොලිසිය දැනුවත් කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් කළහකාරීව හැසිරෙමින් සිටි පුද්ගලයා අල්ලා ප්‍රකාශයක් සටහන් කර පොලිස් ඇපමත මුදාහළ බවද පොලිසිය පවසයි.