අන්තරේ කඩාකප්පල් කිරීම් නිසා
කැලණි සරසවි විද්‍යා ප්‍රදර්ශනේ
අතරමග ඇණ හිටලා



පසුගිය 2 වැනිදා සිට ලබන 7 වනදා දක්වා දින 6 ක් තිස්සේ පවත්වන්නට සැලසුම් කර ඇරඹූ
කැලණි සරසවියේ “විද්‍යා 2017” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය දින තුනකින් පමණ අන්තරයේ කඩාකප්පල් කිරීම් නිසා අතරමග නතර කර දමා ඇතැයි වාර්තාවේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු මෙම ප්‍රදර්ශනය කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී  පසුගිය සඳුදා ආරම්භවී ඇත්තේද විවිධ බාධා මධ්‍යයේය.
කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට වසර 50ක් සපිරීම නිමිති කරගෙන
ශ්‍රී ලාංකේය සමාජය විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නේ කෙසේද, ඒ සඳහා උනන්දු විය යුත්තේ කුමන ආකාරයෙන්ද ආදියට අවශ්‍ය මගපෙන්වීම  ලබාදීමට පීඨයේ ආචාර්යවරුන් සිසුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙයට සූදානම් වුවත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය

මෙය පවත්වනවාට විරුද්ධවී ඇතැයි පැවසේ.‍

 ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රබල ඉංජිනේරු තාක්ෂණය දියුණු රේඩාර් පද්ධති නාවුක උපාංග  පසුපස ඇති විද්‍යාත්මක දැනුම සමාජයට ලබාදීමට මෙම ප්‍රදර්ශන සංවිධායකයින් ඔවුනට ආරාධනය කර තිබී ඇති අතර එය පිළිගෙන නාවුක හමුදාව සැප්තැම්බර් 25 දින ප්‍රදර්ශන උපකරණ රැගෙන පීඨය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී  මැරයන් විසින් මාර්ගය අවහිර කොට එම උපකරණ රැගත් වාහන නැවත හරවා යවා තිබේ.

එසේම ප්‍රදර්ශනයේ අධික පිරිවැය දරාගැනීම වෙනුවෙන් අනුග්‍රාහක භවතුන් බොහෝ දෙනෙකුගේ සහයෝගය ලබාගැනීමට විද්‍යා පීඨ සංවිධායකයින් සාර්ථක ලෙස සමත්ව තිබූ නමුත්
උපකාර කිරීමට පැමිණි ඇතැම් අනුග්‍රාහකයින් හට තර්ජනය කොට එළවා දමන්නටද මෙම මැරයින් කටයුතු කර ඇති බව වාර්තා විය. මේ නිසා ප්‍රදර්ශනය සඳහා ලැබීමට නියමිත වූ මුදල් විශාල ප්‍රමාණයක් නොලැබී යාමත් මුදල් හිඟ තත්ව නිසා දිවා රෑ වෙහෙස නොබලා ප්‍රදර්ශන භාණ්ඩ නිර්මාණය කරන විද්‍යා පීඨ සිසුන් හට ලබාදීමට නියමිතව තිබූ දිවා ආහාරය පවා නියමිත පරිදි නොලැබී ගොස් ඇත.

විද්‍යා ප්‍රදර්ශනය ආරම්භ වී තෙවැනි දිනයේ දී දහවල් 2 ට පමණ ප්‍රදර්ශන භූමිය තුළට පැමිණි මැර පිරිසක් ප්‍රදර්ශනයේ සංවිධායක සිසුන් හට තර්ජනය කරන ලද සිදුවීමක්ද පසුදා අලුයම 2.15 ට හා නැවත පෙරවරු 8.00 ට විද්‍යා පීඨ ශිෂ්‍යයින්ට පහරදීමේ සිදුවීම් දෙකක්ද මෙම විරෝධතාවයට අදාළව සිදුවී ඇති අතර ආරක්ෂක හේතුන් මත ප්‍රදර්ශනය අත්හිටුවන්නට සංවිධායකයින්ට සිදුව ඇත.
ඒ අනුව දින 6 ක් තිස්සේ පවත්වන්නට සැලසුම් කර තිබුණ ප්‍රදර්ශනය දින 3 කින් පසු නවතා දමා ඇත.