මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අසීමිත ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු වත්මන් රජය වගකීම භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී තමා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින විට 2015 වර්ෂය සඳහා වන අය-වැය ලේඛනයේදී පහ වසර ශිෂ්‍යත්වය සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය දහදාහේ සිට විසිපන්දහස දක්වා වැඩි කිරීමටත් මසකට ශිෂ්‍යත්වය සඳහා ලබා දෙන මුදල රුපියල් 500 සිට 1500 දක්වා

වැඩි කිරීමටත් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩයේදීත් පාර්ලිමේන්තුවේත් සම්මත වූ බව හෙතෙම සඳහන් කළේය.

2015 වර්ෂයට අදාළ අය - වැය යෝජනාව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා ශිෂ්‍යත්වයට මුහුණ දුන් දරුවන් මේ වන විට මහත් පීඩනයකට ලක්ව සිටින බව ඔහු පැවැසුවේය.

දැනට ලබා දෙන 15,000ක ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000 දක්වා වැඩි කළේ නම් කඩඉම් ලකුණු ප්‍රමාණය අඩු වන බවත් එහිදී එකසිය පනස් ගණන දක්වා වූ කඩඉම් ලකුණු අඩු වීමෙන් දරුවන් විශාල ප්‍රමාණයකට සහනයක් සැලසෙන බවත් ඔහු පැවැසුවේය.

2015 වර්ෂයේ යෝජනා කළ එම අය-වැය යෝජනාව අඩුම තරමින් මෙවර අයවැය ලේඛනයෙන් හෝ ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් විශේෂයෙන් වර්තමාන මුදල් ඇමැතිවරයාට ජනාධිපතිවරයා විසින් මේ සඳහා උපදෙස් දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළේය.

උදයන්ති මුණසිංහ