විවිධ පුද්ගලයන් සමඟ අනියම් ඇසුරු පැවත්වීම නිසා දරුවන් තිදෙනා පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර ඔවුන් දරුණු ලෙස කෘෘරත්වයට පත් කර වස කවා මරාදමන බවට ප්‍රකාශ කළ තරුණ මවක් හා ඇගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලබාදීම තරයේ
ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා ඔවුන් දෙදෙනාව මේ මස 12දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උඩුපිල දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි (32) මවක් හා දරුවන්ගේ ලොකු අම්මා බව

කියන 38 හැවිරිදි කාන්තාවකි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අවුරුදු දහයක, පහක හා තුනහමාරක දරුවන් තිදෙනකුගේ පියකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර කාන්තාවන් දෙදෙනාම දරුවන්ට නොසලකා හරිමින් දරුවන් කෘෘරත්වයට පත් කර තිබෙන බවට දස හැවිරිදි වැඩිමහල් දරුවාගෙන් අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය. වැඩිමහල් දරුවාගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව කාන්තාවන් දෙදෙනාම වෙනත් පිරිමින් සමඟ අනියම් ඇසුරු පවත්වන බව අනාවරණය කරගත් බවත් ඔවුන් අනුරාධපුර නගරයට පැමිණ කුලියට ලබාගත් නිවෙසකට පිරිමින් ගෙන්වා ගෙන නොදරුවන් ඉදිරියේ ඔවුන් සමඟ මත්පැන් පානය කර පසුව අනියම් ඇසුරු පවත්වා ඇති බව අනාවරණය කරගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

සිය මව හා ලොකු අම්මා පිරිමි පුද්ගලයන් සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව තමන්, නංගී හා මල්ලීව නිවෙසේ කාමරයකට දමා අගුළු දමන බවත් විනාඩි කිහිපයකට පසුව නැවත කාමරයෙන් ඉවතට ගන්නා බවත් දරුවා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සිය මව පියා සමඟ දබරවීම නිසා විවිධ අවස්ථාවලදී නිවෙසින් පිටවී කල්ගෙවීම නිසා මාස ගණනාවක් පාසල් යෑමට නොහැකිවී හතරවැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන තමන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වූ බව ඇය පොලිසියට ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
දරුවන්ගේ මවට දරුවන් භාරගෙන ඔවුන්ට නිසි රැකවරණය ලබාදෙන ලෙස පොලිස් නිලධාරීන් පැවසූ අවස්ථාවේ ඇය දරුවන් තමන්ට භාර දුනහොත් වස කවා මරා දමන බවට පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව කියාසිටි බව පොලිසියට අධිකරණයට දන්වා සිටියේය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය