ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය
සුද්දගෙ කාලයේ කනත්තක්
හමුවූ මීනී ඇටකටු සාක්ෂි දරයි


කොළඹ ගාලුමුවදොර ආසන්නයේ ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී ඉකුත් මැයි මස 11දා හමුවූ මිනිස් අස්ථි කොටස් සම්බන්ධව සිදුකළ අධිකරණ සහ පුරාවිද්‍යා පරීක්ෂණවලට අනුව එම ස්ථානය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සුසාන භූමියක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණයවී තිබේ.
මෙම ස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම් අතරවාරයේ ඉකුත් මැයි මස 11දා ඉදිකිරීම් භූමියේ කානුවක් කැපීම සඳහා
කැණීම් කටයුතු සිදු කරමින් පවතින

අවස්ථාවේ මිනිස් අස්ථි කොටස් , ලෝහමය හැඬල හා මිනී පෙට්ටිවල කොටස් හමුවී තිබුණි.
මෙය අපරාධයකට සම්බන්ධ දේවල්දැයි ඇතිවූ සැකය මත පරක්ෂණයක් සිදුවූ අතර දෘශ්‍යමාන හේතුවක් අනාවරණය නොවීම මත අපරාධයක් අනාවරණය නොවන හෙයින් එම මිනිස් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් කරන බව කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ දන්වා සිටියාය.

හමුවූ මිනිස් අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය වාර්තා අනුව ඉතා පැරැණි මිනිස් අස්ථි කොටස් බවට නිගමනය කළ හැකි බවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයට අයත් මිනිස් අස්ථි කොටස් බවට හේතු සාධක ඇති බවද ඇය දන්වා සිටියාය. මිනිස් අස්ථි සමග මිනී පෙට්ටිවලට යොදා ගනු ලබන ලෝහමය හැඬල හා මිනී පෙට්ටිවල කොටස් හමුවීම මත අතීතයේ පැවැති සුසාන භූමියක් බවට තීරණය කිරීමට හේතු සාධක ඇති බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිද්ධිය සම්බන්ධව සිදුකළ පර්යේෂණයන්ට අනුව ලැබුණු නිගමනවලට හා පුරාවිද්‍යා ප්‍රාථමික, ද්විතීයික මූලාශ්‍රවලට සහ මානව කෘතීන්ට අනුවද මෙම අස්ථි කොටස් හමුවූ ස්ථානය සොහොන් බිමක් බව නිගමනය කළ හැකි බවද  නිගමනය විය.