උසස් පෙළ ගැජට් සිසුවාට
4 දා ප්‍රශ්න පත්‍රයටත් ලියන්න ඕනෙලු

අධි තාක්ෂණික මෙවලම් සිරුරේ සවිකරගෙන පසුගියදා රසායන විද්‍යා ටියුෂන් ගුරවරයෙකුගේ සහායෙන් උසස් පෙළට පිළිතුරු සැපයූ කොළඹ රාජකීය විද්‍යාලයීය සිසුවා මේ වනවිට සිය දන්ත වෛද්‍ය පියා , ටියුෂන් ගුරුවරයා හා එම පවුලේ උදවිය සමග රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර උසස් පෙළ ප්‍රධාන විෂයන් සියල්ල දැනටමත් සම්පූර්ණ වශයෙන් නිමකර සිටි ඔහු
ලබන 4 වනදා පවත්වන්නට නියමිත සාමාන්‍ය පොදු පරීක්ෂණය විභාගයට පෙනී සිටින්නටත් සූදානමින් පසුවේ.
තමාට ලබන සදුදා(04) විභාගයේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සඳහා ඉඩ සලසන ලෙස නීතිඥ වරයෙකු මගින් ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම ඊයේ (31) විභාග කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ.රුවන් පතිරණ මහතා ඔහුගේ නඩුවට අදාළව තවම වැරදිකරුවෙකු කර නැති නිසා උසස් පෙළට පෙනී සිටීමේ අයිතිය අහිමි කළ නොහැකි බව තීන්දු කර තිබේ.
ඒ අනුව ඔහුට ඒ විභාගයට පෙනී සිටීමට අවසර ලබාදී එම ඉල්ලීම පිළිබඳ මහර බන්ධනාගාර අධිකරිවරයාට ලිඛිතව දැනුම් දෙන මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ රේජිස්ටාර්වරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
කෙසේ වෙතත් එම සිසුවාට මෙම විභාග දිනයේම පැවැත්වෙන නඩු විභාගය සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිතව තිබෙන අතර ඒ බව මහර බන්ධනාගාර අධිකාරී වරයාට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.
විභාග වංචාව ඔප්පුවුවහොත් ඔහු පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල අහෝසි වන අතරම වසර 5 ක හෝ ඊට වැඩි විභාග තහනමක් පැනවිය හැකි බව විභාග කොමසාරිස්වරයා මින් ඉහත මාධ්‍ය වෙත දැනුම්දී තිබුනි.