මියන්මාර රෝගීන්යාවරුන්ට
ලංකාවේ රැකවරණයට එරෙහිව

ෆේස් බුක් විරෝධතා කරුවන්ගේ කොළඹ උද්ඝෝෂණය

ලංකාවට මියන්මාරයේ සරණාගතයින් සිය දහස් ගණක් පදිංචි කරවීමට යන බවත් ඔවුන් මියන්මාරයේ බෞද්ධයින් සමග සටන් වදින මුස්ලිම් කණ්ඩායමට අයත් වන ‘රෝගීන්යා‘ වරුන් බැවින් ලංකාවට වැද්දගත නොයුතු බවත් කියමින් පසුගිය සතියක කාලයේ ෆේස් බුක් ඔස්සේ විවිධ ප්‍රචාරයන් දියත් විය.
එම ප්‍රචාරයන්හිදී රෝගීන්යාවරුන් අර්ථ දක්වා තිබුනේ මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් ලෙස වන අතර ඔවුන් බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමූ බව කියන ඡායාරූප එකතූන්ද හුවමාරු කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව මරික්කාර්, අසාද් සාලි වැනි මුස්ලිම් දේශපාලකයින්ට එරෙහිවද
ඇතැම් ප්‍රචාරයන් දියත්වී තිබුණි.
වත්මන් රජයේ සංහිඳියාව නිසා මහත් විනාශයක් සිදු කරගන්නට පෙර මෙයට විරුද්ධ විය යුතු බවට කුපිත කරන වැකිද ෆේස් බුක් තුළ පළ විය. ඒ අනුව ඊයේ කොළඹදී මියන්මාර බෞද්ධ රජයට සහය පල කරමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වූ පිරිසක් ගාලු පාර අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට පා ගමනින් කොල්ලුපිටිය මං සන්ධිය දෙසට පැමිණ ඇමරිකානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදීමට ඔවුන් පැමිණි අතර පොලිසිය 5 දෙනෙකුට ඒ සඳහා අවස්තාව ලබාදුන්නා.

ඔවුන් නැවත පැමිණෙන තෙක් අනෙකුත් පිරිස එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවෙද්දී බස් රථයක් ගමන් කිරීමට පැමිණි අවස්තාවක කලහකාරී තත්වයක්ද ඇතිවී පොලිසිය එය සමනය කරනලදි.
එම පැමිණි පිරිස අත බෞද්ධ කොඩි සහ ජාතික කොඩි තිබුණි.
කෙසේ වෙතත් මෙම සංසිද්ධිය යම් යම් නොමග යැවීම් සහිතව පැනනැගුණ එකක් බවටද කරුණු හෙළි වෙයි.

මුස්ලිම් අන්තවාදීන් ලෙස මෙම පිරිස නම් කළ රෝගීන්යාවරුන්ට සැබෑ ලෙසම ලංකාවේ රැකවරණය සපයා තිබෙන්නේ මේ කාලයේ මුස්ලිම් අන්තවාදය සමග ලොව පුරා සටන් කරන ඇමරිකාවයි.

එසේම සිය දහස් ගණන් ලංකාවට ආවා යයි පැවසුවත් සැබෑ ලෙසම පැමිණ ඇත්තේ 30 කට අසන්න සරණාගතයින් පිරිසකි.
මියන්මාරයේ ගැටුම්වලින් පළා යමින් සිටියදී පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ තිහකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ පසුවේ.

අධිකරණ නියෝගයක් ප්‍රකාර ඔවුන් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) වෙත භාර දෙනු ලැබීමෙන් අනතුරුව දැනට ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තාවකාලිකව රඳවා සිටින බවද වාර්තාවේ.
ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග Expression of Interest නම් ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ලබන දෙසැම්බර් මාසය වනවිට ඔවුන් වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇති බවටද වාර්තා පළවේ.

පහත පළවන්නේ ඊයේ උද්ඝෝෂණ අවස්ථාවේ ගැටුම රූපවාහිනියෙන් වාර්තා කළ අයුරු හා ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල පළවූ අදහස් කිහිපයකි.