ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රධානියා බවට රවි කරුණානායක පත් කිරීම අනියම් ආකාරයට ඇමැතිකමක් ලබා දීමක් වැනි බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (31දා) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා,

අපි දන්නවා රවි කරුණානායක ඉල්ලා අස් වුණා. ඔහු ඉල්ලා අස්වුණාම ඒ ගැන ප්‍රකාශ කළා තමන් රජයේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඉවත් වෙනවා කියලා.
දැන් රවි කරුණානායකව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අයත් ආර්ථික හා රාජ්‍ය සැලසුම් ප්‍රතිපත්ති අමාත්‍යාංශයට අයත් වෙලා තියෙන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්ය භාරයේ ප්‍රධානියා බවට පත් කරලා තියෙනවා. දැන් මේක ගැටලුවක්. අපි අහන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කලිසමක් ඇඳගෙන මේවා කරන්න බැහැනේ. ඉල්ලා අස්වෙනවා කියල නාඩගමක් නටලා අස්වුුණා. මේක හරියට ඉල්ලා

අස්වුණාට පස්සේ ගිෆ්ට්වවුචර් එකක් ලැබුණා වගේ. මේන අනියම් ආකාරයට ඇමැතිකම් දීමක්.

දැන් රවි කරුණානායකගේ අස්සනින් යුක්තව ලිපි නිකුත් කරනවා. විවිධ ඇමැතිවරුන්ට විවිධ චක්‍රලේඛ නිකුත් කරනවා ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන්. මොකක්ද මේ විහිළුව කියලා අපි අහනවා.
මේ වගේ දේවල් මහින්ද රාජපක්ෂගේ පාලනය කාලෙත් අපි දැක්කා. චෝදනාවට ලක් වූ අයව විදේශ තානාපති සේවයට යවනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි තනතුරක් දෙනවා.
අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සිදුවීම සම්බන්ධයෙනුත් අපි මේකමයි දැක්කේ. ඔහුව ඉවත් කරලා ඊට පස්සේ ආර්ථික කටයුතු උපදේශකයෙක් බවට පත් කරනවා. මේ විහිළුව නතර කරන්න කියලා අපි කියනවා.

රවි කරුණානායකව අගමැතිවරයාගේ නිවෙසේ පෞද්ගලික කාර්යයන් සඳහා යොදවා ගත්ත නම් ප්‍රශ්නයක් නැහැ. චෝදනා ඇවිල්ලා ඉල්ලා අස්වුණා. ඒ චෝදනාව හරියට විමර්ශනය කළෙත් නැහැ. හරියට හුස්ම ගන්න හම්බ වුණෙත් නැහැ. පිටිපස්සෙ දොරෙන් තව තනතුරක් දුන්නා. ඒ නිසා අපි ජනපතිගෙන්, අගමැතිගෙන් ඉල්ලා සිටිනවා මේ නාඩගම් කරන එක වහාම නතර කරන්න කියලා. මේ විගඩම් නතර කරන්න. මේවා විලිලජ්ජා නැති වැඩ.

දැන් මහින්ද රාජපක්ෂ කියනවා අපේ තාත්තලා හදපු පක්ෂය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. තාත්තලා පක්ෂය හැදුවාට පුතාලා පක්ෂය විනාශ කළා. තාත්තලා පක්ෂය හැදුවාට තාත්තලාට අගෞරව කළා. තාත්තා නමින් කෞතුකාගාර හදලා ඒ කෞතුකාගාරය හදන්න සල්ලි ගත්තේ මහජනතාවගෙන්.
නිදහස් පක්ෂය මේ රටේ ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි දැක්කා පසුගිය දශකයේ ඒ පක්ෂයේ තිබුණු වටිනාකම් සියල්ලක්ම මහින්ද රාජපක්ෂ විනාශ කරලා දානවා. ඒ පක්ෂය සම්පූර්ණයෙන්ම රජ කෙනෙකුගේ ආවතේවකරුවන් බවට පත් වුණා. අද පක්ෂ සාමාජිකත්වය අහිමිකරන්න හදන සියලු දෙනාම ඒ රාජපක්ෂවරුන්ගේ දෝලාව කරගහපු ආවතේවකරුවන්. ඔවුන් නිදහස් පාක්ෂිකයො නෙමෙයි.
ජනවාරි 08 වැනිදායින් පසසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයට පත් වුණාට පස්සේ තමයි නැවත නිදහස් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිවර්තනයන්වලට, ඇගයුම්වලට වටිනාකම්වලට එරෙහිව කවුරුහරි කටයුතු කරනවා නම්, පරාජිත රජපවුල නැවත වතාවක් බලයට ගේන්න උත්සාහ කරනවා නම් එය පරාජය කළ යුතුයි.

මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය තදබල විදියට කතා කරනවා ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ අහිමිකිරීම පිළිබඳව ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක් කියලා තියනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමක් නෙමෙයි මේ ඒකාබද්ධ විපක්ෂය ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙමෙයි එහෙම පෙනී හිටියා නම් දිවිනැඟුම පනත වෙනුවෙන් පෙනී ඉන්න තිබුණේ.

ක්ෂේත්‍ර නිලධාරීන් 450ක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් විදියට ඉදිරිපත් වුණා. එයින් තේරී පත්වුණු අතිවිශාල ප්‍රමාණයක් මේ වෙනකොට මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වකරුවන් විදියට කටයුතු කරන්නේ. ඔවුන් කටයුතු කරන්නේ ඒ පරාජිත රාජාණ්ඩුවාදී පාලකයාව නැවත බලයට ගේන්න.

උදයන්ති මුණසිංහ