බරපතල වැඩ සහිතව
සිරබත් කන්නට සිදුවුණ

පරිපාලන සේවයේ ඉහළටම ගිය ලලිත්

ජනාධිපතිවරයෙකුගේ ලේකම් වරයෙකු යනු අධික වගකීම් සහිත රාජකාරියකි. රාජ්‍ය පරිපාලන සේවයට සම්බන්ධ වන කෙනෙකුට එවැනි තනතුරක් ලබාගන්නට හැක්කේ ඔහු අති දක්ෂයෙකු නම් පමණෙකි. අද දින අධිකරණය මගින් බරපතල වැඩ සහිත තුන් අවුරුදු සිර දඬුවමකට යටත් වුණ ජ්‍යොෂ්ඨ පරිපාලන නිලධාරියෙකුවූ ලලිත් වීරතුංගද ඉහළ සුදුසුකම් ඇති දක්ෂයෙකි.
තමන් කරන්නේ වරදක් බව දැනදැනත් දේශපාලනඥයින්ට එහෙයි කියා ඇතැම් දේවල් කරන්නට සිදුවීම ලංකාවේ සම්ප්‍රදායකි. ඔහුද එවන් සිද්ධියක ගොදුරක් වූ බව
පෙනෙන්නට තිබේ.
1950 උපන් වීරතුංග මහතාට දැන් වයස අවුරුදු 67 කි.
මාතර රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධියක් හා එම විශ්වවිද්‍යාලයෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලද ඔහු පසුව පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ඇමරිකාවේ පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් සිදු කර තිබේ.
වීරතුංග මහතා 1977 ජනවාරි මස ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසියේ උප දිසාපතිවරයෙකු ලෙසයි. පසුව ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය වැනි රජයේ ආයතන රැසක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,අතිරේක ලේකම්,සභාපති ආදී තනතුරු රැසක් දැරුවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්වූ 2004 අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ ඔහු මහින්ද ජනාධිපති ධූරයට පත් වූ 2005 නොවැම්බර් මාසයේ සිට 2015 බලය අහිමි වන තෙක් ජනාධිපති ලේකම් තනතුරේ කටයුතු කළේය.
පශ්චාත් උපාධි ආයතනයේ (PIM)  ,තොරතුරු තාක්ෂණ නියෝජිතායකනයේ (ICTA) ආසියා පැසිෆික්  ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හා  ILO සඳහා උපදේශන සේවාද සිදු කර ඇත.
මහින්ද බලයේ සිටියදී ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ කවුන්සිලයේ සභාපති ලෙසද ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිෂන් සභාවෙහි තොරතුරු තාක්ෂණ සභාපති ලෙසද කටයුතු කළේය.
වීරතුංග මහතා
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) සභාපතිවරයා ලෙස දිගු කලක් කටයුතු කළ අතර එම තනතුරේ සිටියදී 2010 සැප්තැම්බරයේ දී 50 වැනි සැසිවාරයේදී පොදු රාජ්‍ය මණ්ඩල විදුලි සංදේශ සංගමයේ සභාපති ලෙසද ඔහුව තේරී පත්විය.
පසුගිය රජය පුරාවටම ජනපති ලේකම් ධූරය හෙබවූ වීරතුංග මහතා මහින්දගේ දකුණු අත ලෙස කටයුතු කළ අයෙකි.
මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීමට අවශ්‍යවී විවිධ ආයතන වල අරමුදල් ඒ සඳහා යෙදවූ බවට පසුගිය කාලයේ කරුණු අනාවරණය වෙද්දී එවැනි එක් ආයතනයක් ලෙස TRC නම සඳහන් වූයේ වීරතුංග මහතාගේ අත්සන සහිතව මිලියන 600 ක මුදල් සිල්රෙදි බෙදීමේ කටයුත්තකට යොමු කළ බව සාක්ෂි සපයමිනි.
ඔහු අද වරදකරුවෙකු වූයේ එම චෝදනාවටය. ඔහු යටතේ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිටද මෙම වරදට හසුවිය.
පහත පළවන්නේ වීරතුංග මහතා 2014 පැවැත්වූ කථාවක කොටසකි.