මහවැසි හේතුවෙන් ගංගාවල ජල මට්ටම පිළිබදවද අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දන්වා තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 150ට වැඩි තද වැසි ලැබී තිබීම නිසා ඇහැළියගොඩ ප‍්‍රදේශයේ අවදානම් කලාපවල සිටින වැසියන් වහාම එම කලාපවලින් ඉවත් වී ආරක්‍ෂක ස්ථාන වෙත ගමන් කළයුතු බව දන්වා ඇත.
මීට අමතරව නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික් වැසියන් අවදානයෙන් පසුවන ලෙසත් දන්වා ඇත.
මේ අතර පැය කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට මාර්ග රැසකද මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100-150 ක් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තු සදහන් කරනු ලැබේ.
බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මි.මි.100-150 ක පමණ) ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි.100 ක පමණ) ඇති විය හැකි බවද සදහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධික වැසි සහිත තත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අඟලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර, ඉංගිරිය සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
මේ අතර ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.