සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සහ බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම යන චෝදනාවන්ට වැරැදිකරු වූ පුද්ගලයකුට බරපතළ වැඩසහිත වසර 50ක සිර දඬුවමක් බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා විසින් ඊයේ (11දා) නියම කළේය.

මෙලෙස බරපතළ වැඩ සහිතව වසර 50ක සිර දඬුවම් නියම වූයේ දියතලාව ඇල්ලෙගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකුටය.
2013 අගෝස්තු මස 18 වැනිදා දියතලාව ඇල්ලෙගම පදිංචි අට හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් බරපතළ ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ

චෝදනාව මත මෙම නඩුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යමක් පැවැසීමට පැමිණිල්ලට මෙන්ම විත්තියට තිබේදැයි මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා විමසා සිටි අතර එහිදී නැඟී සිටි විත්තියේ නීතිඥ නලීන් වීරසිංහ මහතා කියා සිටියේ විත්තිකරු අතින් සිදුවූ මේ බරපතළ වැරැද්ද ගැන ඔහු දැඩි ලෙස කම්පා වන බවත් මතු කිසිදු දිනයක මෙවැනි වැරැද්දක් ඔහු අතින් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව කී නීතිඥවරයා අවුරුදු 70ක් වන ඔහුගේ මව රැකබලා ගෙන පෝෂණය කිරීමට සිටින්නේ මෙම පුද්ගලයා පමණක් වන නිසා ඔහුට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසයි.

ඉන්පසුව කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය අවුරුදු අටක සිඟිති දැරියක් බිහිසුණු ලෙස දූෂණයට ලක්කර ඝාතනය කළ පුද්ගලයකුට ලිහිල් දඬුවමක් දෙන්න කියලා ඉල්ලනවා. දැන් සිද්ධිය ගැන සමාව ඉල්ලනවා. අඩුම තරමින් ඒ දැරියගේ මවුපියන් මේ නඩුවේ සාක්ෂි දෙනවිට සමාවෙන්න කියලා ආයාචනය කළේ නෑ. මෙවැනි සාහසික අපරාධයකට දිය හැකි උපරිම දඬුවම දෙන්න කියලා මම ඉල්ලනවා.

සමාජයේ යළි මෙවැනි අපරාධ සිදුනොවීමට නම් චූදිතයාට දෙන දඬුවමෙන් ප්‍රබල පණිවුඩයක් යන්න ඕනි. දණ්ඩනීති සංග්‍රහයට අනුව එක, දෙක, තුන චෝදනා සඳහා අවුරුදු 20 බැගින් උපරිම සිර දඬුවම් නියම කිරීමේ බලය මහාධිකරණයට තිබෙනවා. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ දියහැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස

යැයි අධිනීතිඥවරිය ප්‍රකාශ කළාය.

පසුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා පළමු චෝදනාව වන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක්ද දෙවැනි චෝදනාව වන ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ වරදට බරපතළ වැඩසහිත වසර විස්සක සිර දඬුවමක්ද තුන්වැනි චෝදනාව වන බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට බරපතළ වැඩසහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර සිර දඬුවම් කාලය වෙන වෙනම ගෙවීයන ලෙසට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය.

මීට අමතරව එක් චෝදනාවට රුපියල් දහස බැගින් රුපියල් තුන්දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක් නියම කළේය.

වසර හතරක් විභාගයට ගැනුණු මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය සමඟ සහායක නීතිඥවරිය ලෙස රජයේ කනිෂ්ඨ අධිනීතිඥ අකිලා දල්පදාදු මෙනෙවිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥ නලීන් වීරසිංහ මහතා පෙනී සිටියේය.

හාලිඇළ - පියල් කිත්සිරි