මං හම්බන්තොට වරාය ගැන එහෙම කිව්වෙ නෑ
- ඇමති විජයදාස නිදහසට කරුණු කියයි
සඳුදා ඇමතිධූරය හැරයන ලකුණු


අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විශ්වාසය කඩ කළේය යන කාරණාව මත ඊයේ එජාප කෘත්‍යධිකාර රැස්වීම උණුසුම් විය.එහිදී ඔහුට වටකර පහරදෙන ආකාරයට සියලු දෙනාම කථා පැවැත්වූ  අතර තමා ලංකාදීපයට හම්බන්තොට වරාය කෙසේ හෝ නැවත ගන්නවා යයි කියූ දේ වැරදියට පළවී ඇති බවත් එසේ නොකියූ බවත් විජයදාස ඇමතිවරයා නිදහසට කරුණු කියමින් සඳහන් කර ඇත. අධිකරණ කටයුතු වලට තමා බලපෑම් කරන්නේ නැති බවද ඔහු කියා ඇත.
ඇතුළත ගිනි පිටට නොදීමේ අදහසින් මෙම රැස්වීමේදී සිදුවූ දේවල් මාධ්‍ය වෙත නිල වශයෙන් ලබා නොදීමට එජාපය පියවර ගත් නිසා ගයන්ත ඇමතිවරයා අවසානයේ කියා තිබුනේ විජේදාස ගැන කිසිවක් අපි කතා කළේ නෑ යනුවෙන් මුසාවකි. කෙසේ නමුත් ඇමතිවරුන් කිහිප පොළක් මාධ්‍ය වෙත මෙම තොරතුරු විස්තරාත්මකව
ලබාදී ඇත. නමුත් ඇත්තටම සිදුවූ දේ ඇතැම් මාධ්‍ය වල පළකර ඇත්තේ

තමන්ට වාසිවන ආකාරයට බවද පෙනී යයි.
කෙසේ වෙතත් මෙම තදබල විරෝධයෙන් පසු ලබන සඳුදා ඇමති විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධූරයෙන් ඉවත්ව යනු ඇති බවට ආරංචි පැතිර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පළමුව අදහස්‌ දක්‌වා තිබේ. පසුගිය රජයේ හොරුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ ක්‍රියා නොකිරීම සම්බන්ධව නි. ඇමැතිවරයා විසින් අධිකරණ ඇමැති ඇතුළු නීති අංශ දැඩි දොෂ දර්ශනයට ලක්‌ කොට ඇත.ගාමිණී ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, නවීන් දිසානායක, අශෝක්‌ අබේසිංහ, නලීන් බණ්‌ඩාර, රංජන් රාමනායක, රුවන් විජයවර්ධන, චන්දිම ගමගේ, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද මෙහිදී පසුගිය ආණ්‌ඩුවේ දූෂිතයින් මෙතෙක්‌ නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධව දැඩි ලෙස ආණ්‌ඩුවට දොස්‌ පවරමින් අදහස්‌ දක්‌වා තිබේ.
මෙහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම තමාට කළ නොහැකි බවයි.එමෙන්ම හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ පවරා ගන්නා බවට තමා ප්‍රකාශයක්‌ කළේ නැතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම්වලට සභාවේ සිනහ පහළවී ඇත.
 ඔහු කියූ දේ පත්තරේ වැරදියට පළවී ඇතිනම් ලබන සතියේ වහා එම පුව්තපතට දන්වා නිවැරදි කිරීමක් කරවන ලෙස අගමැතිවරයා එහිදී පවසා ඇත.
ඔවුන් ඒ කිසිවක් විශ්වාස කර නැත.
රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවට සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් ඒකාබද්ධ රැස්වීමේ දී ඊයේ (17) ඒකමතිකව සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කළේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා වන අතර එය ස්ථිර කළේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අනුර සිඩ්නි ජයරත්න මහතාය.
චෝදනා පහක් පදනම් කර ගනිමින් මෙම විශේෂ යෝජනාව ඉදිරිපත් විය. ඉදිරිපත් වී තිබු චෝදනා මෙසේය.
අධිකරණ අමාත්‍යවරයා ලෙස තම වගකීම් ඉ‍ටු කිරීමට අපොහොසත් වී‍ම
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අල්ලස හා දූෂණය මැඩලීමට නව නීතී ගෙන ඒමට අපොහොසත්වීම.
අපරාධ මගින් උපයාගත් ධනය ආපසු ජනතාවට අත්පත් කර දීම සඳහා අවශ්‍ය කරන නව නීතී ගෙන ඒමට අපොහොසත්වීම.
අපරාධ නඩු විභාග කිරීමට අදාළව පවතින අධික ප්‍රමාදය නිසා යුක්තිය ඉටු නොවීම පිළිබඳව ශ්‍රී ලංකා පුරවැසියන් බරපතල ලෙස අධිකරණ ඇමැතිවරයාට විවේචන එල්ලවීම,
ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රජය හා එක්සත් ජාතික පක්ෂය බලවත් ලෙස ජනතා අප්‍රසාදයට පත්වීම
මෙහිදී බොහෝ මැති ඇමැතීන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්‌වන ලෙසත් ඔහු හිතාමතාම හොරුන් ඇල්ලීම ප්‍රමාද කිරීමට සහ නඩු යට ගැසීමට කටයුතු කරන බවටත් දැඩි ලෙස චෝදනා නගා ඇත.
කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවතට පැමිණි විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නඩු ප්‍රමාදයට වගකිව යුතු අධිකරණ ඇමැතිවරයා එම ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්ව ඇති නිසා ඔහු එම තනතුර අතහැර යා යුතු යැයිද එසේ නොකළහොත් සිදු වන්නේ පක්ෂය විනාශ වීම බවද මහ හඩින් පැවැසුවේය.ඩීල් කාරයින්ට අධිකරණ ඇමති ධූරය දැරිය නොහැකි බව රංජන් රාමනායක නි.ඇමතිවරයාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ අතර ඔහු කිව්වේ විශ්වාසභංගයක් ගෙනෙන්නට පෙර ඇමතිවරයා ගෞරාවන්විත ලෙස ධූරයෙන් ඉවත්වනු ඇති බවකි.
විවේචන එල්ලවූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබන සඳුදා වන විට දේශපාලනමය වශයෙන් වැදගත් තීරණයක් ගනු ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.