විජයදාස රාජපක්ෂ 
සමුගනිමින් කළ කතාව

ජනපති නියමයෙන් අද දින ඇමති ධූර වලින් ඉවත් කළ විජයදාස රාජපක්ෂ මහතා තම කාර්ය මණ්ඩල වලට සමුදීමෙන් පසු මාධ්‍ය අමතා වත්මන් ආණ්ඩුව දැඩි විවේචනයට ලක්කළේය.
ඔහු කළ කතාව පහතින්
‘මං ඇමති ධූර දෙකින්ම අයින් වුනේ නෑ. අයින් කළා.
එජාපයේ හිටියත් එකයි නැතත් එකයි. මගේ ගමන ගැන මං පසුව කියන්නම්..
අපේ රටේ ඉතිහාසය පුරාවටම තිබුණු හැම ආණ්ඩුවකම හැම අධිකරණ ඇමතිවරයාට ආ චෝදනාව නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයට බලපෑම් කළා කියන එක. ඒත් මට තියන චෝදනාව අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකළා කියන එක. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරල තියෙන්නෙ 
අපේ රටේ අමාත්‍ය මණ්ඩලයමයි.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව අනුව හම්බන්තොට ගනුදෙනුව වැනි ගිවිසුමකට ඇතුළුවීමේදී අත්‍යවශ්‍යයෙන්ම පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත යුතුයි.ඒ නිසා හම්බන්තොට පැවරීමේ ගිවිසුම කඩදාසි කොළයක් විතරයි.ඒක නීතියට අවලංගුයි බල ශූන්‍යයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනු කිරීමේ බලය ලැබුණොත් වරායක් පැවරීමට බදු දීමට කිසිදු ආකාරයක බලයක් නෑ .
එය හෙළිදරව් වීම තුළ මට එරෙහිව කුපිත වූ යම් කණ්ඩායමක් හිටියා. හම්බන්තොට පටන් ගත්තා මත්තලට අනුමැතිය දුන්නා.
මෙයාකාරයට ජාතික සම්පත් සියල්ල විකුණගෙන යන කැබිනට් මණ්ඩලයක් තුල සිටීම තරම් ලැජ්ජා සහගත තවත් කාරණයක් නෑ කියන එක තමයි මගේ හෘද සාක්ෂිය මට කියන්නේ.

චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ ඇමති කම බාර ගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඇමතිකම මාස පහකින් දීල ආවා. අද මම අමාත්‍ය මණ්ඩලයෙන් අස් කරපු ඇමැතිවරයා විදියට තමයි දැන් මෙතන කතා කරන්නෙ.
පණ්ඩුකාභය රජතුමාගෙ ඉඳලා අද දක්වා මේ රටේ සිද්ධ වුන විශාලම ගණන මෙපමණයි කියලා කියන්න බැරි මංකොල්ලය තමයි මහ බැංකු බැඳුම්කර මගඩිය.
 අනපේක්ෂිත ලෙස ජනාධිපතිතුමා කොමිසමක් පත් කරපු නිසා මගඩියේ මහ මොළකාරයන් ගේ නම් එළියට එන විට බොහෝ අය බය වෙලා තිබෙනවා එය වසන් කිරීම සඳහා කටයුතු කරපු ෆුට් නෝට් කල්ලියේ නම් එළියට එනවිට මේ අය බයවෙලා ඉන්නව.

දැන් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා ස්වාධීනව පවත්වා ගෙන ආපු නිසා අපේක්ෂා කරනවා මේ රටේ ජනතාව මීට වඩා වගකිව යුතු අයට නඩු පවරාවි කියලා. ඒක නිසා මේ අධිකරණ ඇමති පන්නල නීතිපති දෙපාර්තමේන්තුව කොදු නාරටිය කැඩිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා.
ඒක නිසා තමයි පහළොස් වැනි බදාදා නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්නලා පසුපෙළ මන්ත්‍රීවරු ඇතුළු චණ්ඩි මන්ත්‍රීන් ගෙන්නලා නීතිපතිවරයාට අපහාස උපහාස කරමින් ඔහුට නියෝග දීලා තියෙන්නේ ඔවුන් ගේ තරහකරුවන් ඉක්මනට අධිකරණය සති දෙකක් ඇතුළත නඩු පවරන්න ඕන කියලා.


විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා පසුගිය රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාලා ඒ ගොල්ලන්ගේ නඩු ප්‍රමාද කරනවා කියන කාරණය එළියට දාලා බැඳුම්කර මගඩිය යට ගහලා මාව බිල්ලට දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ.

 මතක තියාගන්න ඕන මේ චෝදනා කරන අයගෙන් අතිබහුතරයක් 2007 දී කෝප් වාර්තාව හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අභියෝගයක් කරලා මම එලියට බැහැල  එන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ හුරතල් වෙච්ච අය තමයි මේ කතා කියන්නේ.

2002-2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ මේ රටේ බොහෝ සම්පත් විකුන්නා.
ශ්‍රී ලංගම විකුණ්නා රවි වෙත්ත සිංහ මහත්තයට රුපියල් මිලියන 860 කට.මම බේරගත්තෙ නැත්නම් අද ලංකාවේ ලංගමක් නෑ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල අහිමි වුණා.ඒව මම බේරගත්තා.
 වංචනික ලෙස පුද්ගලික අංශයට දීලා තිබුණු කොළඹ වරාය අධිකරණයට ගිහිල්ලා ජනතාවට ලබා දුන්නා.රටේ සියලුම ජනතාව සම්පත් විකුණා කමින් යන ආණ්ඩුවක් පිලිබඳ ගතයුතු තීන්දුව මොකක්ද කියලා ජනතාවට සිතා බලන්නට කියලා මේ අවස්ථාවේ මම ආරාධනා කරනවා.

ඇවන්ගාඩ් ගනුදෙනුව ගැන මට චෝදනා කළා. හිටපු නීතිපති විජයතිලක තීන්දුවක් දීලා තියනවා මේ සම්බන්ධයෙන් අපරාධ නඩුවක් පවරන්න බෑ කියලා. විහේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ යවල තියනවා ජනාධිපතිතුමාට මෙතන නීතිවිරෝධී ගනුදෙනුවක් වෙලා නෑ කියලා. ඇවන්ගාඩ් සම්බන්ධ යම්කිසි නීතිමය පියවරක් ගන්නවා නම් වර්තමාන ආරක්ෂක ලේකම්ගෙඉඳලම අත්අඩංගුවට ගන්න වෙනවා. මොකද දැනටත් නාවික හමුදාව ගිහිල්ලා ඇවන්ගාඩ් නැවේ තමයි මුහුදේ ආණ්ඩුවේ තුවක්කු තැන්පත් කරන්නේ.
මේ වෙනකොට තුවක්කු 500 කට වැඩිය තියනවා.එහෙනම් මේ රටේ ආරක්ෂක ඇමති ඉඳලා සියලු දෙනා ඒකට වගකියන්න ඕන.ඒ දූෂණය සම්බන්ධ මට ඇඟිල්ල දික්කරන්න කාටවත් අයිතියක් නෑ.