අපචාර වීඩියෝව ලීක්වීමෙන් පසු
ජර්මන් ටෙක් විදුහල්පති ඉල්ලා අස්වේ

දකුණු ආසියාවේ ප්‍රධානතම කාර්මික විද්‍යාලයක් ලෙස නම්දරා තිබෙන මොරටුවේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කීර්ති නාමය පළුදු කරමින් එහි වත්මන් විදුහල්පති ශාන්ත කරුණාරත්න සිසුවෙකුට අපචාර කරන අයුරු වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධවීමෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුව තිබේ.
මෙම වැඩිහිටි විදුහල්පතිවරයා විදුහලේ ඉගෙනුම ලබන තරුණ පිරිමි සිසුන්ගේ විභාග සමත්කරදීම ඇපයට තබා ඔවුන් සමග සිය කාර්යාලය තුළදී හා පිටතදී බලහත්කාරයෙන් සමලිංගික හැසිරීම් වල නියැළෙන බවට
කාලයක් තිස්සේ ආරංචි පැතිරගොස් තිබුණ අතර එම ක්‍රියාවන්ට එරෙහිවන අයට විදුහල තුළ අසරණවීමට සිදුවීමත් ඔහුට එරෙහිව පොලිසිය හෝ අමාත්‍යංශය ක්‍රියා නොකිරීමත් නිසා ගැටලුකාරී තත්වයක් උද්ගතව තිබී ඇත. ඇතැම් සිසුන් මේ හේතු නිසාම විදුහල හැරයාමේ සිදුවීම්ද වාර්තාවී තිබේ.
විදුහල්පතිගේ අපචාර ක්‍රියාවන්ට අනුකූලවන ඕනෑම සිසුවෙකු අවසන් විභාග සමත්වීමට වරම හා විදුහල හරහා ඉල්ලුම් කරන ජර්මනිය ඇතුළු රටරටවල්වල වටිනාකියන කාර්මික අංශ ඇබෑර්තු වලට පහසුවෙන් යොමුවන්නට වාසි සහගත අවස්ථාද ලබාගතහැකිවූ නිසා මෙම ‘අපචාර ශෛලිය‘ විදුහල තුළ කවුරුත් දන්නා රහසක් ලෙසද පැවතී ඇත.


ඈත ගම් දනව්වල සිට කාර්මික අධ්‍යාපනය ලබන්නට එන සිසුන් වැඩිදෙනෙකු විදුහල්පතිවරයාගේ මෙම අශාවන් සංතර්පණය කර හෝ තමන්ගේ ඉලක්කය සපුරාගැනීම වටී යන ආකල්පයේ කටයුතු කර තිබුණ නිසා විදුහල්පතිට පක්ෂපාත ඔහුගේ අපචාරයන්ට අනුකූලවූ අනුගාමිකයින් පිරිසක්ද මෙම විදුහලේ ඉගෙනුම ලබමින් සිට ඇත.

විදුහල්පතිවරයාගේ ඉල්ලා අස්වීමට තුඩුදුන් ආසන්න සිදුවීමට ලක්වන්නේ කොළඹ ප්‍රදේශයේ පදිංචි විෂයෙහි සමත්කම් ඇති පරිගණක දැනුමද ඇති මේ දේවල් නොරිස්සූ සිසුවෙකි.

මොරටුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වසර 3 ½ ක මෙකට්‍රොනික්ස් පාඨමාලාව හැදෑරූ ඔහුව කලක සිට විදුහල්පති විසින් පොළඹවාගන්නට උත්සාහ දරා තිබුණ බවටද වාර්තා තිබෙන අතර ඔහු ඒවාට දැක්වූ පිළිකුල නිසා විදුහල්පතිගේ බලාපොරොත්තු ඉටුවී නැත.

නමුත් විදුහල්පතිවරයා උපායක් ලෙස මෙම සිසුවා පෙනී සිටි අවසන් විභාගයේ විෂයන් දෙකක් අසමත් කරවා තිබෙන අතර එය සමත් කරවාගන්නට නම් තමා වෙත ඔහු පැමිණේවි යයි අපේක්ෂා කර තිබේ.

මෙම සිසුවා තමා ඉතා විශ්වාසයෙන් ලියූ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක්ම අසාධාරණ ලෙස අසමත් කරවීම ගැන විදුහලේ අංශ ප්‍රධානිගෙන් කරුණු විමසූ පසු අංශ ප්‍රධානී දන්වා ඇත්තේ ‘විදුහල්පති ඔබට කැමතියි  විදුහල්පති සමග සමීපව කටයුතු කළ හැකියි‘ වැනි අදහසකි. පසුව විදුහල්පති හමුවී අභියාචනයක් ලබාදෙන්නැයි විභාග අංශාධිපති ඔහුට දන්වා ඇත. ඒ සඳහා මුලින්ම සිසුවා ගිය අවස්ථාවේ විදුහල්පති ඔහු නම්මවා ගන්නට කථාබස් කර ඇති අතර ඊට සති තුනකට පමණ පසු අතවරය සිදු කර ඇත.
සිසුවාගේ පොලිස් පැමිණිල්ලේ මෙසේ ඒ ගැන දැක්වේ.

‘27/06/2017 හවස 2.30 ට පමණ විදුහල්පති නිල කාමරයට මා ගිය අතර විනාඩි 30 ක්  පමණ විදුහල්පති සමග කතාකිරීමට සිදුවූ අතර පියවරෙන් පියවර ඉතාම පුද්ගලික කරුණු මා වෙත ප්‍රකාශ කරමින් සඳහන් කළේ  මීට පෙර සිට ඇසුරක් පවත්වාගෙන තිබුනේනම් මෙසේ විභාග අසමත් වීමක් සිදු නොවනු ඇති බවයි.  මෙහිදී මා සමඟ සමාන්තරව  අධ්‍යාපනය ලැබූ හා  මා විසින් අසාධාරණ ලෙස ඉහල විභාග  ප්‍රතිඵල ලබාදී ඇති බවට චෝදනා කරන ඔහු හා සමීප ඇසුරක් ඇති මෙකට්‍රොනික්ස් සිසුන් කීහිපදෙනෙකුගේ නම් සඳහන් කොට ඔවුන්ද විදුහල්පතිගේ ඉතාමත් සමීප මිතුරන් බවත් සනාථ  කළේය. එම අවස්ථාවේදී මා ඉදිරිපත් කල ලිඛිත අභියාචනය බාරගත් පසුව මා ඔහුගේ නිල කාමරයෙන් පිටත්වීමට පෙර මාගේ කරවට අත දමා මාව
බලහත්කාරයෙන් සිප ගත්තා. මෙහිදී මා ඉතා ඉවසිලිවන්තව සිට විරෝධයක් නොදැක්වුයේ කරුණු සනාථ කිරීමට තවදුරටත්  සාක්‍ෂි  ලබා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙනි. මින්පසු මොහු විසින් රාත්‍රී කාලයේද දුරකථන ඇමතුම් ලබාදුන් අතර වෙනත් ස්ථානයකදී හමුවීමට අවශ්‍ය බවත් ප්‍රකාශ  කළා.සති කිහිපයක් ගතවුවත් මට සාධාරණයක් ඉටුවුනේ නැත.
ආයතනීය විසඳුමක් නොලැබුන බැවින් ඉදිරි පියවර ලෙස මා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කිරීම සඳහා යන අතරතුර  20/07/2017 දින ආයතනයට පැමිණි මා සවස 3.05 ට පමණ  මා විදුහල්පතිවරයාගේ කාර්යාලය තුලට පිවිසුනේ විදුහල්පතිවරයාගේ නීති විරෝධි අසම්මත ක්‍රියාවන් සම්පුර්ණයෙන් වීඩියෝ පටිගත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මාගේ උපක්‍රමය හේතුවෙන් සැකයකින් තොරව ඔහුගේ ගේ පුද්ගලික පසුබිම හා අරමුණ පවසා සිටි අතර මා විදුහල්පති නිල කාමරයෙන් පිටතට පැමිණීමට සුදානම් වි දොර අසලට පැමිණිමේදී රාජකාරී කාලය තුල, නිල කාමරය ඇතුලතින් අගුල් දමා අස්වාභාවික  ලිංගික ක්‍රියාකාරකමක් සිදු කරන ලදි. (වීඩි‍යෝවේ දැක්වේ) ‘  

මෙම වීඩියෝ සාක්ෂිද සමග ගල්කිස්ස පොලිසියට පැමිණිලි කරන්නට සිසුවා ගියේය.අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිල්ලක් ගොනු කෙළේය.

පොලිසියේ පැමිණිල්ල පමණක් පිටු 13 කින් සමන්විත වුවද පොලිසිය මේ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ‘විදුහල්පතිවරයා සිසුවාගේ අතින් ඇද්දා‘ යයි පමණක් සඳහන් කරමින් නඩු පවරා තිබූ බව හෙළි විය.

ඒ අනුව විදුහල්පතිවරයාට පසුගිය ජූලි 25 දා නඩුවට පෙනී සිටීමට සිදු විය. මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මොහුට ඇප ලබා දෙන්නට අකමැති වුවත් පොලිසිය ඇප ලබා දීමට විරෝධතාවයක් දක්වා නැති අතර රු. ලක්ෂ 2 ක පුද්ගල ඇප දෙකක් සහ මුදලින් රු. 50000 ක ඇප මත මුදා හැර  තිබුණි.

ඔහු ගැන අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් හෝ සිදු නොවූ අතර පසුදාත් ඔහු වැඩට ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙබ් අඩවි හා සමාජ ජාල ඔස්සේ වීඩියෝව පැතිරෙන්නට ගත්තේ ඉන් පසුවයි.ඒ අනුව ඊයේ (4) නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සොයා බලන බවට දැනුම් දුන්නේ සමාජ ජාල විඩියෝව ප්‍රබලවීම නිසාය.

අද (5) වාර්තාවූයේ අපචාර චෝදනා එල්ල වූ මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.
මේ වනවිට  එම ආයතනය සඳහා වැඩබලන විදුල්හපතිවරයෙකු පත්කර ඇත.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරයවූ වීඩියෝව පහත පරිදිය.