රට රැකියාවට යවා
මුදලුත් බිරියත් අහිමි කරගත්
සුරේකාගේ සැමියාගේ කතාව



හොර ඒජන්සියකට හසුවී කුවේට් රැකියාවකට සිය බිරිය යැවූ සැමියෙකුට මුදල් මෙන්ම තම බිරියද අහිමිවීමේ සංවේගදායක පුවතක් මොරවක ප්‍රදේශයෙන් වාර්තාවේ.
සුරේකා අයිරාංගනී නමැති මෙම කාන්තාව කුවේට් රටේ ගෘහ සේවය සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ 2017 අප්‍රේල් 26 දිනයි.ඒ ඒජන්සියක් හරහාය. මාස දෙකහමාරකින් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුරේකාගේ නිවෙසට පණිවිඩයක් ලැබී ඇත. ඒ සුරේකා මියගිය බවටය.මෙම සිද්ධිය දැනුම් දී ඇත්තේ 9 වැනි දිනයි. එහිදී ඔවුන්ට පවසා ඇත්තේ සුරේකාට විස සහිත දුමක් ආඝ්‍රාණය වීමෙන්
මරණය සිදුව ඇති බවකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරේකාගේ සැමියා වන කීර්ති නන්ද එදිරිසංහ (45) මහතා,
"පසුගිය අප්‍රේල් 26 වැනිදා තමයි මගේ නෝනා කුවේට් රටේ රැකියාවට ගියේ. පසුගිය 07 වැනිදා තමයි මගේ නෝනා අවසන් වතාවට කතා කළේ. ඊට පස්සේ මොනවත් විස්තරයක් හොයාගන්න බැරිවුණා.
පසුගිය 08 වැනිදා අපිට මුලින්ම කතා කරලා කිව්වේ කුවේට් රටේ සේවය කරන ලංකාවේ අක්කා කෙනෙක්, මල්ලියේ සුරේකාගේ දුරකතනය වැඩ කරන්නේ නැහැ.
සුරේකාට මොනවා හරි කරදරයක් වගෙයි කිව්වා.
ඊට පස්සේ තමයි අපි ඒජන්සියට කතා කළේ. ඒජන්සියේ දුරකතනවලට අපි කෙතරම් ඇමතුම් ගත්තත් උස්සන්නේ නැහැ එකක්වත්. ඊට පස්සේ අර අක්කම ආපහු වොයිස් මැසේජ් එකක් එවලා තිබුණා මල්ලියේ සුරේකා ඉඳපු කාමරේ ගිනි අරගෙන. ඒකේ ඉඳපු අයත් ඉවරයි. ඒ නිසා ඉක්මනට ඒජන්සියට ගිහිල්ලා විස්තරයක් හොයා ගන්නය කියලා. ආයෙමත් ඒජන්සියට කෝල් කළාම සබ් කෙනෙක් කතා කරලා කීවා ඒජන්සිය වහලයි, ඒ ඒජන්සිය වෙන තැනකට ගෙනියනවයි,
සඳුදා තමයි ඒ ඒජන්සිය විවෘත කරන්නෙ කියලා. ඒ අතරේ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 9දා අපිට කෝල් එකක් දුන්නේ මගේ බිරිය නැතිවෙලයි කියලා.
සේවා ස්ථානයේදී විස සහිත දුමක් ආඝ්‍රාණය වීම මෙම මරණය සිදුවීමට හේතුවයි කියලා එහාට එන්න කීවා.‘

මෝදර නිවෙස, නෙළුව පාර, කළුබෝවිටියන, මොරවක ලිපිනයේ පදිංචි සුරේකා අයිරාංගනීට හා සැමියා කීර්ති නන්ද දෙපළට යසිරු නෙත්සර (15) සහ යෙනුලි මිතාරා (09) යනුවෙන් පුතකු සහ දුවකු සිටින අතර පුතා ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටත් දියණිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයටත් පෙනී සිටීමට නියමිතය.
 සේවයට පිටවීමෙන් පසු සුරේකාගේ පවුලේ සාමාජිකයන්ට ලැබුණු රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ඇය විදෙස් ගත කළ මෙරට ඒජන්සියේ තැරැව්කරුවකු ලෙස පෙනී සිටි අයකු විසින් ලබාගෙන මේ වනවිට පලාගොස් ඇති බවද වාර්තා විය. ඔහුගේ ජංගම දුරකතනයද මේ වනවිට ක්‍රියා විරහිත කොට ඇත.
බිරියගේ සිරුර ලංකාවට ගෙන්වා ගත් පසුව ලංකාවේදී සිදුකළ මරණ පරීක්ෂණයේදීද විස දුමක් හේතුවෙන් මියගිය බව තහවුරුවී තිබේ.
තම බිරිය සැකසහිත ඒජන්සියකින් විදෙස්ගත කිරීමෙන් පසු බිරියගේ ජීවිතයද අහිමිවීම නිසා දරු දෙදෙනා සමග සැමියා දැන් අසරණවී තිබේ.