පරාජය හමුවේ වියරු වැටුණ
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් බෝතල් ප්‍රහාර


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය ලංකාවට පරාජය අත්කරදෙමින් නිමා වීමට ආසන්න අවස්ථාවේ වියරු වැටුණ ප්‍රේක්ෂකයින්ගේ බෝතල් ප්‍රහාර නිසා ටික වේලාවකට තරගය නතර කරන්නට සිදු විය.
ලංකාව ලබාගත් 218 පසුපස හඹා ගිය ඉන්දීය පිල කඩුළු 4 ට ලකුණු 210 ලබා ජයග්‍රහණයට ආසන්න අවස්ථාවේ නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන්
තරගය අතර මග නතර කිරීමට සිදුවිය.

පසුව කැරළි මර්දන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව තරගය යළි ආරම්භ කළ අතර ටිකකින් තරගය ජයගැනීමට ඉන්දියාව සමත් විය.
තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී මෙම සිදුවීම සිදුව තිබේ. දිගින් දිගටම සිදුවන පරාජයන් හමුවේ කුපිතවූ ප්‍රේක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට පහරදී ඇති අතර එම අවස්ථාවේ තරගය අතහැර විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටින්නට සිදුවිය.
තත්ත්වය පාලනය නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගිය අතර විනාඩි 20 ක් පමණ ගතවී ආරක්ෂක විධිවිධාන මැද තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 පන්දු හතකදී  ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ජයග්‍රහණය අත්පත් කරගත්තේය.
මින් ඉහත දඹුල්ලේ පැවති තරගයේදීත් ප්‍රේක්ෂකයින් හූ හඩ නගා සිය විරෝධය පළ කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙතරම් අශෝබන ආකාරයට හැසිරුණ අවස්තා දැක නැති බව ක්‍රිඩා විචාරකයින්ද ප්‍රකාශ කර තිබුණි.
මෙවර සංචාරක ඉන්දීය පිල සමග පැවති සියලු ටෙස්ට් තරග හා එක්දින තරග වලින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.