විවාහක පියා තමන් බව පවසමින් අනියම් බිරියගේ දරුවකුගේ උප්පැන්න සහතිකයට සිය නම ඇතුළත් කර කූට ලේඛන සකස් කළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් පොලිස් ස්ථානයක සේවයෙහි නියුතුව සිටින බව කියන පොලිස් පරීක්ෂකවරයෙකි.
මෙම පොලිස් පරීක්ෂකවරයා විවාහයෙන් වෙන්ව සිටින කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත්, එසේ සබඳතා පවත්වාගෙන යන අතරතුරදී ඔහුට දාව එම අනියම් බිරිය දරුවකු ප්‍රසූත කර ඇති බවත් අනාවරණය වෙයි.

එසේ උපන් දරුවාට උප්පැන්න සහතිකයක් සකස් කිරීමට පියවර ගත් අවස්ථාවේදී එම දරුවාගේ නීත්‍යනුකූල පියා තමන් බව පවසමින් ඔහු එම උප්පැන්න සහතිකයට වංචාසහගත ලෙස ඔහුගේ නම ලබාදී ඇති බවක් අනාවරණය වෙයි.

මෙම සිද්ධිය දැනගත් එම කාන්තාවගේ වෙන්ව සිටින පෙර විවාහයේ සැමියා ඒ බව මිරිහාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා ඊයේ (31දා) නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ආර්.බී. නෙලුම්දෙණිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරිණි. සැකකරු වෙනුවෙන් නීතිඥ සුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය.

කුමුදු උපුල් ශාන්ත