මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා සිය බිරිය හා පුතුන් සීඅයිඩී හා එෆ්සීඅයිඩීය වෙත කැඳවා ලබාගත් කටඋත්තර පැහැදිලි කර තිබේ. ඒ මෙසේය.

‘මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා ප්‍රශ්ණ කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්ණය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ ජීප් රථය භාවිතා කොට තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ වලටය. මගේ බිරිඳ සීඅයිඩීයට දැනුම්
දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිහරණය කරන වාහන වල නඩත්තුව හෝ අලුත් වැඩියා කටයුතු  ගැන ඇය කිසිවක් නොදන්නා බවයි. මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන්ද පසුගිය බදාඳා සීඅයිඩීය ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ වාහනයේ පාට වෙනස් කිරීමට කාහට හෝ උපදෙස් දුන්නාද යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන නඩත්තු කරන්නේත් අලුත්වැඩියා කරන්නේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී වාහනය ඔහුගේ ආරක්‍ෂක භටයන් විසින් පාවිච්චි කලේද යන පැනයට ඔහු දී තිබූ පිළිතුර වූයේ තම ආරක්‍ෂකයන්ට වාහන ලබා දෙන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් මිස තමා නොවන බවයි.

පසුගිය අඟහරුවාදා මුල් වරට මගේ බාලම පුත් රෝහිත ද මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්ණ කරන ලදී. ඔහුගෙන් අසා තිබුණු ප්‍රශ්ණය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ ‘සුප්‍රීම් සැට්’ නැමති සමාගමේ ඔහුට කොටස් හිමිකාරිත්වයක් තිබෙනවාද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා තිබුණේ ඔහුට සුප්‍රීම් සැට් සමාගමේ ඍජු හෝ වක්‍ර කොටස් අයිතියක් නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්වා
එකී සමාගමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක හැටියට වැටුප් ලබන සේවකයෙකු වූ බවය. 2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය. මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇසූ තවත් පැනයක් වූයේ සුප්‍රීම් සැට් සමාගමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කලේද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්ථාව වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්, ඔහුට සුප්‍රීම් සැට් සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයෙකු විසින් බවයි.

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක් පවත්වාගෙන යන එකම විශ්ව විදයාලය සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයයි. 2012 දී මේ පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරීන් හත්දෙනෙකු වූ අතර මගේ පුත් රෝහිතද ඒ අතර විය. 2012 දී සුප්‍රීම් සැට් ආයතනයද හවුල්ව අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන ආණ්ඩුවටයි. මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් සන්නිවේද පද්ධති 36 න් 6 ක් සුප්‍රීම් සැට් ආයතනය විසින් අවුරුදු 12 කට බදු පදනම මත අරගෙන ඇත. ලංකාවේ ගැනුම් කරුවන්ට සන්නිවේදන සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි.මෙම සමාගමේ ප්‍රධාන ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට දැනගන්නට ලැබී ඇත. ‘