සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට අලාභහානි සිදුකළේ යැයි
සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ මහාධිකරණය මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වූ බවට පැමිණිලි ඉදරිපත් වූවොත් ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවට අනතුරු අඟවා සිටියේය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් තමන්ව රිමාන්ඩ් භාරයට පත් කරමින් දී ඇති නියෝගයක් ප්‍රතිශෝධනය කර ඇප මත නිදහස් කරන මෙන් ඉල්ලා සැකකාර ළහිරු වීරසේකර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම නියෝගය කළේය.
ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් සැකකාර ළහිරු වීරසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා කරුණු දක්වමින් තම සේවාදාකයා දින 45කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔහුට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකරු සමඟ සිටි සමකාලීන ශිෂ්‍ය කණ්ඩායම 2016 වසරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කොට ඉන් ඉවත්ව ගොස් ඇතැයි සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයාට ලබන වසර තුළ විෂයයන් 5කට පෙනී සිටීමට අවශ්‍යව ඇති බැවින් එයද සුවිශේෂී කරුණක් සේ සලකා ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ සැකකාර ළහිරු වීරසේකර අධිකරණය හමුවට කැඳවූ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඔහු වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය.
විනිසුරුවරයා : තමන් කුමන විශ්වවිද්‍යාලයේද ඉගෙනුම ලබන්නේ.
සැකකරු : රජරට විශ්වවිද්‍යාලයේ ස්වාමීනි.
විනිසුරුවරයා : කුමන වර්ෂයේද විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ?
සැකකරු : 2011 වසරේදී ස්වාමීනි.

විනිසුරුවරයා : දේශනවල සහභාගි වෙනවාද?

සැකකරු : සහභාගි වී තිබෙනවා ස්වාමීනි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් මෙම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බව කියා සිටියේය.
ස්වාමීනි, මෙම සැකකරුගේ හැසිරීම ඉතා ප්‍රචණ්ඩකාරී බව පෙනී යනවා. මහජන සාමය කඩ කිරීම සහ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව නඩු 10කට ආසන්න සංඛ්‍යාවක් අධිකරණවල තිබෙනවා. මෙම සැකකරුට යම් දේශපාලන දර්ශනයක් තිබිය හැකියි. ඒ වෙනුවෙන් පෙනී සිටීමට ද ඔහුට අයිතියක් තිබෙනවා. එහෙත් මහජනයාට, රජයේ සේවකයන්ට මෙන්ම රජයේ දේපළවලට හානිකර ආකාරයෙන් හැසිරීමට ඔහුට නීතියෙන් ඉඩක් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වෙනම නීතියක් නැහැ. ඔවුන්ද පවතින නීතියට යටත් විය යුතුයි ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා මෙම සැකකරුට ඇප නියම කරන්නේ නම් දැඩි කොන්දේසි සහිතව ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව සැකකාර ළහිරු වීරසේකර රු. 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඉන් එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම ඥාතියකු විය යුතු බවද නියම කළේය. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරිදා මරදාන පොලිසියට වාර්තා කළ යුතු බවද එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

කේ.එස්. උදයකුමාර්