නිවෙසකට හොරෙන් ඇතුළු වී චීන ජාතික තරුණියක් සතු රුපියල් හැත්තෑපන් දහසක් වටිනා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් සොරකම් කළ තරුණයෙක් අගෝස්තු 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග
කළාය.
චීන ජාතික තරුණිය කොල්ලුපිටිය
පිහිටි දෙමහල් නිවෙසක පදිංචි වී සිට ඇති අතර සැකකාර තරුණයා නිවෙසේ දෙවැනි මහලට හොර රහසේ ඇතුළු වී මේසයක් මත තබා තිබූ ජංගම දුරකතනය සොරකම් කර පලාගොස් ඇත.

චීන ජාතික තරුණිය විසින් නිවෙසේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී තරුණයා විසින් ජංගම දුරකතනය සොරකම් කරන ආකාරය කැමරාවේ පටිගත වී ඇති අතර ඒ අනුව තරුණිය සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

විත්තිකාර තරුණයා සොරකම් රැසකට සම්බන්ධ නඩු ගණනාවකට වරදකරු වී සිටින තැනැත්තෙකි.

අමිල අබේරත්න