ජිනේන්ද්‍ර සර්ගෙ මල්ලී ටැබ් එකින් වයිබර් කරලා
පේපර් එක එවුවා මං එඩිට් කළා
 - ග්‍රැෆික් ඩිසයිනර්

පසුගියදා පැවති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කල් ඇතිව ලබාදුන් බව කියමින් ප්‍රචාරණ අත්පත්‍රිකා බෙදා හැරිය කඳාන ප්‍රදේශයේ පදිංචි ජිනේන්ද්‍ර රණසිංහ නමැති ගුරුවරයාගේ සැලසුම් සහගත බොරුව මේවනවිට අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ.
ඔහු කල් ඇතිව ලබාදුන් බවට සිසුන් නොමග හරිමින් අත්පත්‍රිකාවට ප්‍රශ්න ඇතුළු කර ඇත්තේ විභාගය පැවති අවස්ථාවේම කිහිප දෙනෙකු යොදවා සිදුකරන ලද සැලසුමකට අනුවය.
19 වනදා උසස් පෙළ විභාගයේ ශාලාවක සේවය කළ පාසල් ගුරුවරයෙකු වූ ටියුෂන් ගුරවරයාගේ
සොයුරා මෙම වංචාවට සෘජුවම උදව් කර තිබේ. රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය බෙදන්නට පෙර ශාලාධිපතිවරයා සීල් කඩා ඒවා ඉවතට ගෙන ගණන් කරන්නට දුන් මොහොතේ
එම එක් ප්‍රශ්න
පත්‍රයක්  ශාලාවේ මේසයක් මත තැබූ බව කියන සොයුරා තමන් රැගෙන ආ ටැබ් පරිගණකයෙන් එහි පිටුවල ඡායාරූප කිහිපයක් ලබාගෙන තිබේ.
අනතුරුව ප්‍රශ්න පත්‍ර බෙදීමේ කටයුත්ත සිදු කර මිනිත්තු කිහපයකට පසුව පෙර ලබාගත් ඡායාරූප ගම්පහ පිහිටි පරිගණක ග්‍රැෆික් ආයතනයක සේවය කරන ග්‍රැෆික් ශිල්පියකුට වයිබර් කර තිබේ.

ප්‍රශ්න පත්‍ර පිටපත් ලැබෙන බව කල් ඇතිව දැනගෙන එම කොටස් එකතු කරන්නට පමණක් ඉඩ තබා සූදානම් කර තිබූ ෆොටෝෂොප් ඡායාරූපයට ඒවා සූක්ෂ්ම ලෙස එකතු කරන්නට මේ කියන ග්‍රැෆික් ශිල්පියා අනතුරුව කටයුතු කර තිබේ.
මෙම සංස්කරණ කටයුත්ත සිදු කරන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරයාත් එම ස්ථානයේ සිට ඇති අතර ඔවුන් එයින් ප්‍රශ්න තුනක්
> පමණක් තෝරන්නට සූක්ෂ්ම වී තිබේ. එසේම රූප සටහන් පිටපත් කර ඒවායේ අන්තර්ගත අගයන් වෙනස් නොකර හැඩ තරමක් වෙනස් කර අත්පත්‍රිකාව සකසන්නටත් සූක්ෂ්මවී තිබේ. විභාග ප්‍රශ්න නැවත ටයිප් සෙටින් කර නැති අතර විභාග ප්‍රශ්න පත්‍රයේ පිටපතම එයට අමුණා ඇත.

මේ ආකාරයට මිනිත්තු කිහිපයක් තුළ ග්‍රැෆික් කොටස නිමකරවාගත් ගුරුවරයා ඒවනවිටත් එක් පැත්තක් මුද්‍රණය කරගෙන තිබුණ පත්‍රිකාවේ අනෙක් පැත්තේ ග්‍රැෆික් නිර්මාණයේ කොටස් පිටපත් කර ඇත්තේ ඩුප්ලෝ මැෂිමක ආධාරයෙනි.
අනතුරුව ටියුෂන් ගුරුවරයාගේ ගෝලයින් දෙදෙනෙකුට පත්‍රිකා තොගය භාරදී විභාගය අවසන්වූ සැණින් ඒවා බෙදාහරින්නට උපදෙස් දී තිබේ.
පාසල් සිසුවියන් අන්දමන්ද කරවන පත්‍රිකාව සැකසී ඇත්තේ ඒ පිළිවෙලටය.

සිද්ධියට සම්බන්ධ ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන්ව ඇත. ඔහුගේ පියා සහ ප්‍රශ්න පත්‍ර වයිබර් කළ සොයුරා දැන් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔවුනගේ කට උත්තර අනුව කැලණිය ප්‍රදේශයේ පදංචි ගම්පහ නගරයෙහි පරිගණක මධ්‍යස්ථානයක සේවය කරන ග්‍රැෆික් ශිල්පියාද ඊයේ අත්අඩංගුවට පත්විය. එම තිදෙනාම අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.