මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී මහාමාර්ග ආශ්‍රිතව රහසිගත කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය මූලික කරගනිමින් බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා පවසයි.

 රථ වාහන බහුල සහ ජනගහනය අධික ලෙස සැරිසරන නගරයක් වන කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් ද බහුලව සිදුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

 මේ අතර වේග සීමා සම්බන්ධයෙන් දැනට පවත්නා නීති ද තදින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා සඳහන් කළේය.

 වේග සීමා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පසුගිය කාලය තුළ හටගෙන තිබු ගැටළුකාරී තත්ත්වයන් සහ වේග මාපකවල තිබු දෝෂයන් ද මඟහරවා ගැනීමට මේ වන විට අවශ්‍ය කටයුතු කර තිබේ.

ලේසර් වේග සීමා මාපක සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් පොලීසියට ලබා දී ඇති බව කමල් සිල්වා මහතා පැවසුවේය.

 එමෙන්ම ප්‍රධාන මාර්ග රැසක වේග සීමා පුවරු සවි කිරීම ද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකර අවසන් බව රථ වාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.