අද දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමති රවී කරුණානායක ඉල්ලා අස්වූ පසු මහ බැංකු බැඳුම් කර සම්බන්ධ කෝප් කමිටු ප්‍රධානී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දීර්ඝ කතාවක් කරමින් දන්වා සිටියේ මේ ඉල්ලා අස්වීම ජනතා ජයග්‍රහණයක් බවයි.
රවී කරුණානායක මහතා
මෙම ඉල්ලා අස්වීමෙන් යහපාලන රජය වෙනුවෙන් පූර්වාදර්ශයක් සපයා ඇති නමුත් එමගින් මෙම බැඳුම්කර වංචාව ගැන සොයා බැලීම වසාදමන්නට බැරි බව කියා සිටියේය.
මිනීමැරුමක් සිදු කර ඒ ගැන පරීක්ෂණ කරන අතර ස්ත්‍රී දූෂණයක් හෙළිවීමක් වැනි මෙම සිද්ධිය අනුව මිනීමැරුම සෙවීම යටපත් කරන්නට බැරි බවත් ඒ ගැනද සොයන්න අවශ්‍ය බවත් දන්වා සිටියේය. මෙම සිදුවීම ගැන විපක්ෂයේ අතැම් අය සතුටු වුණත් අවංකවම ඔවුන් කළ වංචාද පවතින නිසා මෙය ඔවුන්ට සතුටුවන්නට කාරණාවක් නොවන බවද කීවේය.
රවී මෙම ඉල්ලා අස්වීමෙන් ආඩම්බර වෙනවා යයි පැවසීම විහිළුවක් බවත් තමාට අස්වන්නට සිදුවන බව දැනගෙන විශ්වාසභංගයක්ද ලැබුණ පසු ඉල්ලා අස්වූයේ අස්කිරීමේ ලජ්ජාව වසාගන්නට බවත් ඔහු දන්වා සිටියේය.
ආණ්ඩුව හොරුන්ට දඩුවම් දෙන්නෙ නෑ කියන දේ දැන් ජනතාව අතර පවතින මතය බවත් එම ක්‍රියාදාමයට අද දින ඓතිහාසික සිද්ධියෙන් පසුවවත් ආණ්ඩුව උනන්දු විය යුතු බවත් ඔහු කියා සිටියේය.