තොරතුරු පනතෙන් එළියට ආ
රොෂේන් චානක ඝාතනයේ ඇත්ත කතාව

2011 වසරේ මැයි මාසය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ අයිතීන් රැකගැනීමට සේවකයන් කරන ලද අරගලය අවසන්වූයේ විසි දෙහැවිරිදි රොෂේන් චානකගෙන් වාතලයට මුසු කළ අවසන් හුස්ම මතිනි. එදා පොලිසිය කලාපයේ සේවක සේවිකාවන්ට පන්න පන්නා, කර්මාන්තශාලා වටකොට පහර දුන්නේය. ලී පොලු, යකඩ පොලු, යකඩ දම්වැල් වලින් පහර දුන්නේය. තරුණ සේවිකාවන්ට පහර දුන්නේය. ගැබිනි මාතාවන්ට පවා පහර දුන්නේය. පොලිසියේ කාන්තාවන් සේවිකාවන්ට පරුෂ වචනයෙන් බැන වැදිණි. රොෂේන් චානක මියගියේ
පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි පහරකිනි.

මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල කළේ මැයි 30 වැනිදාය. මරණය සිදු වුණේ ජූලි පළමුවැනිදාය. එදා සිට අද දක්වා මාස 68ක් අඛණ්ඩව රොෂේන්ගේ මවත් නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවත් එක්ව රොෂේන්ගේ මරණයට නීතියෙන් සාධාරණය ඉල්ලා සිටියේය.

රොෂේන්ගේ මරණය පිළිබඳව සිදුකරන ලද මහානාම තිලකරත්න වාර්තාව පසුගිය සතියේදී රොෂේන්ගේ මවට ලැබී ඇත. ඒ සමඟ නීතිය හා සාමය රැකීමේ නිළධාරින් විසින් මරා දමන ලද රොෂේන්ට සාධාරණයක් ඉටු කරගැනීමේ මං පෙහෙළි වී ඇති බවට බලාපොරොත්තුවක් ඇති වී තිබේ. තොරතරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමඟ මහජනතාවට ඇති තොරතුරු ඉල්ලුම් අයිතිය තහවුරු කරමින් වාර්තාව එළිදැක්විණි. ඒ රොෂේන්ගේ මරණයට සාධාරණයක් ඉටු වන බවට දැල්වුණු කොළ එළියක් මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියත් සමඟ ජනතාවගේ නිදහස, ආරක්ෂාව තහවුරු වන බව කියාපාන සංඥාවකි.

රොෂේන් මිය ගියේ ජූලි 01 වැනිදාය. ඔහුගේ මරණය පිළිබඳ පත්කළ මහානාම තිලකරත්න කොමිසම විසින් සිදු කරන ලද අවසන් වාර්තාව නිකුත් කළේ 2011 ජූලි 15 වැනිදාය. එනම් මරණය සිදුකොට සති දෙකක් යන තැනය. මේ වාර්තාව කොතෙකුත් පසුගිය රජයෙනුත් මැති ඇමැතිවරුන්ගෙනුත්, මේ ආණ්ඩුව බලයට පත්වූ පසුවත් තමාට ඉල්ලා සිටියත් වාර්තාව ලබා දෙන බවට පොරොන්දු මිස ලැබුණු වාර්තාවක් නම් නැති බව රොෂේන්ගේ මව කියන්නීය.

2016 අගෝස්තු 4 වැනිදා අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත සම්මත විය. 2017 පෙබරවාරි 04 වැනිදා තොරතුරු දැනගැනීමේ කාර්යාල විවෘත විය. රොෂේන්ගේ මව මහානාම තිලකරත්න වාර්තාව එළිදක්වන මෙන් තොරතුරු ඉල්ලීමක් කළේ ඊට පසුදින එනම් පෙබරවාරි 05 වැනිදාය. තොරතුරු ඉල්ලීිමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයට මව කැඳවා තිබිණි. එහිදී වාර්තාව ලබා දෙන බව කී බවත් පසුව වාර්තාව නිකුත් වීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ලියුමක් ලැබී ඇත. එහෙත් උත්සාහය අත්හැරියේ නැත. තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමඟ තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි. එම අභියාචනයට ප්‍රතිචාර වශයෙන් මහනාම තිලකරත්න කොමිසම් වාර්තාව රොෂේන්ගේ මවට ලැබිණි.

වාර්තාවේ සඳහන් නිගමන මෙසේය
‘බරපතළ තුවාල හා කැඩුම් බිඳුම් සමඟින් රෝහල් ගත කරන ලද සියලු දෙනා සඳහා ප්‍රමාණවත් පරිදි වන්දි ලබාදීමටත් ඔවුන්ට තවදුරටත් දඬුවම් ලබා නොදෙන ලෙසත් මම යෝජනා කරමි. ජලය විදීමට වැනි සුදුසු පහසුකම් සලසා තිබුණේ නම් මෙම තත්ත්වය වළක්වා ගැනීමට තිබිණි. හුදෙක් ගල් ගැසීමෙන් පොලිස් නිලධාරීන් 22 දෙනකුට පමණක් තුවාල සිදුවීම, කිසිම ආකාරයකින් බලවත් පොලිසිය නීතියට සියතට ගැනීමට සහ ම්ලේච්ඡ ක්‍රියාකාරකමෙහි නියැළීමට බලයක් නොදෙයි.

පොලිසිය විසින් ප්‍රධාන ගේට්ටුව වසා තැබීම නිසාවෙන් තුවාල වූ සහ කොටුවී සිටි සේවකයන් එළියට ගැනීමට තාප්ප කඩා අතුළු වූ ගම්වාසීහු වඩාත් ශිෂ්ට සම්පන්න වූහ.
අවසාන සොයා ගැනීම වනුයේ සමහර සේවකයන් විසින් ප්‍රකාශ කළ පරිදි "මෙවන් ආකාරයේ සිදුවීම් නැවත සිදුනොවේවා" යන්නයි. ඉස්මතු වන්නේ සහ ගමේ හා බුද්ධිමතුන් අතර පොදු කතාව වනුයේ ආණ්ඩුව සිද්ධිය පිටුපස සිටි බවයි. මා ඉදිරියේ එවන් ආකාරයේ සාක්‍ෂි ඉදිරිපත් වූයේ නැත.

වෘත්තීය සමිති අතර එදිරිවාදිකම් ඇත. ඇන්තනී මාක්ස් උද්ඝෝෂණයකට නායකත්වය දුන් අතර කිසිවක් සිදුවුණේ නැත. සේවකයන් අතර අවශ්‍ය අවබෝධය සඳහා ආයෝජන මණ්ඩලය නිසි අවස්ථාවේදී මැදිහත්වී නැත. ඇමැතිවරයාගේ කතාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා බෙදා හැරීමෙන් ඇමැති ලොකුගේ විසින් කළ පොරොන්දුව පිළිබඳව සේවකයන්ගේ විශ්වසනීයත්වය පලුදු කළේය.

මූලික අයිතිවාසිකම් පිළිබඳව පොලිසිය දැනුවත් කළ යුතුය. නිදහස් වෙළෙඳ කලාපීය සේවකයෝ රටට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන එති. පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත සහ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත. අවම වශයෙන් වෙඩි තැබීමෙන් පසුව හෝ පොලිසියට අශිෂ්ටසම්පන්න හැසිරීම නැවැත්වීමට තිබිණි. වාග් ප්‍රහාරයන් හා ලී පොලු, යකඩ පොලු, යකඩ දම්වැල්වලින් සිදුකළ පහරදීම් මෙන්ම ආරක්‍ෂක නිලධාරියකුට අයත් රත්තරන් මාලය හා මුදල් පැහැර ගැනීම ආදිය නීතිගරුක පුරවැසියන් සැලකිල්ලට ගත යුතු කරුණුය.

ආණ්ඩුවේත් අතිගරු ජනාධිපතිතුමන්ගේත් රටේ හා පොලිස් බළකායේත් ප්‍රතිරූපය ආරක්‍ෂා කර ගැනීමට නම් එහි සිටි සියලුම ජේ‍යෂ්ඨ නිලධාරීන් හා අනෙක් පොලිස් ස්ථානයන්හි නිලධාරීන් පිළිබඳව ඔවුන්ගේ තනතුරු හා වෙනත් කරුණු නොසලකා ක්‍රියා කළ යුතු වන්නේය.‘


වාර්තාව - රසිකා හේමමාලි