රෝගී මව පාරට ඇද දැමූ බාලපුතා
වන්දි ලැබෙන නිසා
මිනිය ගෙදරට ගේන්න පොරකාලා



ජීවතුන් අතර සිටියදී රෝගාතුරව සිටි මවට උදවු උපකාරයක් නොකළ පුතකු සිය මවගේ මරණය සිදුවූ දා තම ආයතනයෙන් ලබා දෙන වන්දි මුදල ලබා ගැනීමට මවගේ මිනිය ඉල්ලා සිය සොහොයුරිය සමඟ උරණ වී ආරවුලක් ඇති කරගත් සිදුවීමක් ගල්ගමුව පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.
සිද්ධියට අදාළ මිය ගිය මව ගල්ගමුව, මහ ඇඹෝගම ප්‍රදේශයේ උපන්දා සිට ජීවත්ව සිටි
පස් දරු කාන්තාවකි. ඇය සමේ ඇති වූ යම් ආසාදිත තත්ත්වයක් මත ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජුනි මස 29දා මිය ගොස් තිබේ. කෙසේ වෙතත් මව මිය යන්නට පෙර ඇය ජීවත්ව සිට ඇත්තේ ඇගේ බාල පුතුගේ නිවෙසේ වන අතර ඇයගේ රෝගී තත්ත්වය නිසා ඇය තම නිවෙසේ සිටීම විශාල කරදරයක්
යැයි පවසමින් බාල පුතුගේ බිරිය විසින් නොයෙක් වර මෙම මවට අවලාද අපහාස නඟා තිබේ. දිනක් රෝගී මවට ඇඳ මත මල පහ වීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බාල පුතුගේ බිරිය විසින් ඔහු ඉදිරියේදීම මේ මව නිවෙසින් පිටතට ඇද දමා තිබේ.

කෙසේ වෙතත් මේ මව මිය යන්නට පෙර එම නිවෙසේ විසීමට නොහැකි නිසා මහව, නෙත්තිපලගම ප්‍රදේශයේ සිටින තම දියණියගේ නිවෙසට තනිවම ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත. ඒ වන විටත් ඇයගේ රෝගී තත්ත්වය වැඩි වී තිබූ නිසා දියණිය විසින් සිය මව නහවා පිරිසුදු කොට පෞද්ගලික වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබාදී එතැන් පටන් වසර එකහමාරක් පමණ සිය මව මිය යන තුරුම බොහෝ දුෂ්කරතා මැද තම මව රැකබලා ගෙන තිබේ. නමුත් ඇගේ බාල සොහොයුරු හෝ අනෙක් සොහොයුරන් හෝ කිසිදු අවස්ථාවක සිය මවගේ සැප දුක් සොයා බැලීමට පැමිණ නැත.

මව මිය යෑමෙන් පසුව මීට පෙර කිසිදු දිනෙක තම මෑණියන් බැලීමට නොපැමිණි බාල පුතු හා අනෙකුත් දරුවන් මහව තම සහෝදරියගේ නිවෙසට ඒ අවස්ථාවේදීම පැමිණ පවසා ඇත්තේ මවගේ මෘත ශරීරය ඇඹෝගම ප්‍රදේශයේ තම නිවෙසට රැගෙන යෑමට තමන් පැමිණි බවත්ය. නමුත් මව රක්ෂා කළ දියණිය ඊට විරුද්ධ වී ඇති අතර ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් ඇති වී තිබේ. ඉන්පසු එතැනින් පිටව ගිය බාල පුතු ඔහුගේ බිරිය හා දරුවන් පසුදින උදෑසනම පැමිණ තම මවගේ දේහය පිට පළාතක වළ දැමීමට ඉඩ දිය නොහැකි බව කියමින් නැවතත් මවගේ මෘත ශරීරය රැගෙන යෑමට උත්සාහ දරා ඇත.

මේ සිද්ධිය හේතුකොට මවගේ අවසන් කටයුතු සිදු වූ දිනට පසු දිනෙක නැවතත් දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති වී ඇති අතර එය ඇනකොටා ගැනීමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී මව රැකබලා ගත් දියණියගේ මිතුරියකටද රෝහල් ගතවන්නට පහරදී ඇත. අදාළ සිදුවීමෙන් පසු අනාවරණය වී ඇත්තේ බාල පුතු විසින් පවත්වාගෙන යනු ලබන සර්විස් ආයතනයෙන් මවගේ මරණය වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ලබා ගැනීමේ අරමුණින් මවගේ දේහය ඔහුගේ නිවෙසට රැගෙන යෑමට උත්සාහ දරා ඇති බවයි. ඔහු ඇසුරු කරන ව්‍යාපාරික මිතුරන්ගෙන් අවමඟුල් කටයුතු සඳහා ලැබෙන යම් යම් දෑ ලබා ගැනීමට අවැසි නිසා මවගේ දේහය රැගෙන යන්නට සූදානම් වී ඇති බව අනාවරණය වී තිබේ. පහරකෑමට ලක් වූ කාන්තාව මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්ගමුව අධිකරණයේදී නඩුවක් විභාග වෙමින් පවතින අතර ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම