ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ කුවේට් ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය 18දා නියෝග කළේය.
ඕස්ට්‍රේලියානු ජාතිකයකුට
අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර අලෙවි කිරීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව සඳහා ඇප දීමේදී මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහාධිකරණය මඟින් නියෝග කර තිබිණි.

18දා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකාර උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කුවේට් රාජ්‍යයේ ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස තම සේවාදායකයාට ඇරයුම් ලැබී ඇති බවයි.
තම සේවාදායකයා මීට පෙරද අධිකරණයේ අවසරය මත 05 වැනි වතාවටත් විදෙස් ගතවී ඇති බැවින් විත්තිකරුට මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ විදේශගත වීමට අවසර දෙන්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළේය.
එමෙන්ම අධිකරණය භාරයේ රඳවාගෙන සිටින විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

කේ.එස්. උදයකුමාර්