කොහොමද උපේක්‌ෂා ජීවිතේ?

ජීවිතේ මල්, සැමියා සමන්තගෙ ආදරෙත් දුව ධනුජිගෙ හුරතලෙත් විඳිමින් බොහොම සුන්දරව ගෙවෙනවා.

සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ අද වගකීම්වලින් පිරිල වගේ

බිරිඳත් මවක්‌ වුණහම මුහුණදෙන සාමාන්‍ය තත්ත්වය ඕකනෙ. අද මමත් ඒ තත්ත්වෙට පත්වෙලා. ගොඩක්‌ සතුටින් ඒ වගකීම් යුතුකම් ඉටුකරමින් ඉන්නවා.

ආදරණීය පබා රසිකයන්ගෙන් ඈත්වෙලා නේද?


අනේ නෑ. මගේ ජීවිතේ තියෙනතුරා මම මට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ඈත් වෙන්නෙ නෑ. ඒ මමත් ඔවුන්ට ආදරේ නිසා.

මව් පදවියත් එක්‌ක උපේක්‌ෂාට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ නැති පාටයි


ආරාධනා වලින් නම් අඩුවක්‌ නෑ. ඒත් මට දුවව තනිකරල කිසිම දේකට යන්න හිතෙන්නෙ නෑ. දුවට තාම මාස 7 යිනෙ. මේ මම එයාගෙ ළඟම ඉන්න ඕනෙ කාලෙ. ඒත් පසුගිය දවස්‌වල නර්තන ප්‍රසංගවලට සහභාගි වුණා. ලබන අගෝස්‌තු, සැප්තැම්බර් මාසවලත් ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිල තියෙනව.

දුවෙක්‌ ඉන්න අම්ම කෙනෙක්‌ හැටියට ඉදිරියේදී චරිත තෝරාබේරා ගැනීමේ පිළිවෙතක්‌ අනුගමනය කරනවද?

දුවෙක්‌ ඉන්න නිසා නෙමෙයි මම මේතාක්‌ මගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙන චරිතයක්‌ වෙනුවෙන් පෙනී සිටියෙ නෑ. ඉදිරියේදීත් මම අනුගමනය කරන්නේ ඒ පිළිවෙතම තමයි.

දරුවෙක්‌ ඉන්න උපේක්‌ෂට නැවත පෙම්වතියකගේ චරිතයක්‌ කරන්න පුළුවන් වෙයිද?

පෙම්වතියකගේ චරිතයකට දරුවො බලපෑමක්‌ වෙන්නෙ නෑ. රංගනයට හැකියාව තියෙනව නම් ඒ චරිතෙ කරන්න පුළුවන්. දරුවෙක්‌ නෙමෙයි දුසිමක්‌ හිටියත් අවස්‌ථාවක්‌ ලැබුණොත් මම පෙම්වතියකගෙ චරිතෙ කරනවා.

සැහැල්ලුවෙන් ජීවත්වුණ උපේක්‌ෂාට මේ කාර්ය බහුල බව දැනෙන්නේ

විඩාබර වුණත් සුන්දර අත්දැකීමක්‌. සාමාන්‍යයෙන් මම ටිකක්‌ වැඩිපුර කාලෙ අරගෙන මගේ වැඩ නිදහසේ කරගත්තු කෙනෙක්‌. එහෙම ගෙවපු ජීවිතේ වෙනස්‌ කළේ මගේ දුව ධනුජි ශැනන්. එයාව අඬවන්නෙ නැතුව එයාගෙ වැඩත් ගෙදර සියලු වැඩත් ඉක්‌මනට පිළිවෙළට කරන්න එයා මාව හුරුකළා.

ඒ කියන්නෙ ඔබ දැන් නියම අම්ම කෙනෙක්‌ වගේම හොඳ ගෘහනියක්‌
හරියටම හරි, අමාරුවෙන් වුණත් මම මේ ජීවිතේට හුරුවෙන්න වැඩිකාලයක්‌ ගියේ නෑ. හිතුවොත් කරන්න බැරි දෙයක්‌ නෑ කියන්නෙ ඒකනෙ.

ඔහොම ගිහින් සැමියා පබාව ගෙදරටම කොටු කළොත්

ඒක කවදාවත් වෙන දෙයක්‌ නෙවෙයි. මටත් වඩා ඔහු තමයි මගේ රංගන කටයුතු ගැන උනන්දුවක්‌ දක්‌වන්නෙ. අනික සමන්ත කියන්නෙ සමාජය ගැන හොඳ දැනුමක්‌, අවබෝධයක්‌ තියෙන කෙනෙක්‌. පටු අදහස්‌ ආකල්ප ඔහු ළඟ නෑ. ඒ තුළ ඔහුට මාව හිරකාරියක්‌ කරන්න අවශ්‍ය වෙන එකක්‌ නෑ.

ඔබ දෙදෙනා දැනහඳුන ගත්තේ

මම දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු කාලෙ විවිධ සමාජ සේවා වැඩසටහන්වලට සමන්ත අනුග්‍රහය දැක්‌වුවා. ඒ හරහා අපිට එකට වැඩකරන්න ලැබුණා. ඒ දැන හැඳුනුම්කම් තමයි විවාහය දක්‌වා දුරගමනක්‌ ආවෙ.

දේශපාලනේ කරල එහෙනම් උපේක්‌ෂට හරිගියා

ඇත්තටම කියනව නම් දේශපාලනේ කරල මට ලැබුණු එකම හොඳ දේ තමයි මගේ මහත්තයා.

ඒ එකම හොඳ දේ අරන් අද ඔබ දේශපාලනයට තිත තිබ්බ කියල චෝදනා කළොත්

මෙහෙමයි හොඳ දේවල් කරහම හොඳ ප්‍රතිඵල ලැබෙනවනෙ. ඒ වගේ මම හොඳ හිතින් දේශපාලනේ කරා. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට මට සමන්තව ලැබුණා. ඒ අතරේ හොඳ දේවල් රැකගෙන අයින් වෙන්න ඕන තැනට තිත තිබ්බා.

නැවත දේශපාලනේට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැද්ද?

කොහෙත්ම නෑ. පිළිගන්න පුළුවන් පක්‌ෂයක්‌ සහ දේශපාලනඥයකු වෙනුවෙන් මගේ ඡන්දය ලබාදෙනවා ඒ ඇරෙන්න කාටවත් කඩේ යන්නෙ නෑ.

සැමියා ඡන්දෙ ඉල්ලුවොත්

සීයට දෙසීයක්‌ සපෝර්ට්‌ කරනවා. කොහොමත් සමන්ත හොඳ දේශපාලන පසුබිමක්‌ වගේම දැනුමක්‌ තියන කෙනෙක්‌. මම නිතරම කියන්නෙත් එයාට දේශපාලනේට සම්බන්ධ වෙන්න කියල.

පබාගේ කැදැල්ලේ වැඩවලට සැමියගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු නේද?

ඇත්තම කියනව නම් මම සමන්තගෙන් ගෙදර වැඩවලට උදව් බලාපොරොත්තු වුණොත් මම හරිම අසාධාරණ බිරිඳක්‌ වෙනව. මොකද සමන්ත කියන්නෙ ව්‍යාපාර කටයුතු නිසා කාර්ය බහුල කෙනෙක්‌. ඒ හැමදේම එයා කරන්නෙ මටයි දුවටයි සැපවත් ජීවිතයක්‌ ළං කරල දෙන්න කියන එක මම හොඳටම දන්නවා. අනික සමන්තගෙන් මට ස්‌වාමියකුගෙ ආරක්‌ෂාව විතරක්‌ නෙමෙයි තාත්ත කෙනකුගෙ, සහෝදරයකුගෙ රැකවරණයත් ලැබෙනවා. ඊට වඩා මොන උදව් ද ඔහුගෙන් මගේ ජීවිතේට. ඒත් සමන්ත මට හිතල උදව්කරන අවස්‌ථා අනන්තයි අප්‍රමාණයි.
-------------------------------------------

මේ අතරෙ අපි උපේක්‌ෂගෙ දයාබර සැමියා සමන්තවත් මේ කතාබහට එකතුකර ගත්තා

සමන්ත උපේක්‌ෂව බිරිඳ කරගත්තෙ ඇය රංගන ශිල්පිනියක්‌ නිසාද?

නැහැ. අර උපේක්‌ෂා කිව්වෙ අපි හඳුනගත්තෙ දේශපාලන වැඩවලදී කියල. ඒක තමයි ඇත්ත කතාව. ඒ විදියට අපි සමාජ සේවයේ යෙදිල ළඟින් ඇසුරු කරද්දී උපේක්‌ෂාගෙ තියෙන ගොඩක්‌ හොඳ ගතිගුණ මගේ හිතට තදින් කාවැදුනා. ඒ නිසා තමයි මම ඇයව බිරිඳ කරගන්න හිතුවෙ.

ඔබේ කාර්යබහුල දිවියට ඇයගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

අති විශාලයි. ව්‍යාපාර කටයුතු නිසා කන්න බොන්න නිදහසක්‌ නොලැබෙන අවස්‌ථා අනන්තයි අප්‍රමාණයි. ඒ හැමදේම හොයල බලල ඔළුව නිදහසේ තියාගෙන වැඩකරගන්න අවශ්‍ය පසුබිම නිරතුරුවම ඇය සකස්‌ කරල දෙනවා.

බිරිඳක්‌, ගෘහනියක්‌, මවක්‌ හැටියට ඇය සතු වගකීම් නිසි ලෙස ඉටුකරනවද?

සත්තකින්ම හිතුවට වඩා ඉක්‌මනින් උපේක්‌ෂා ඒ හැමදේම මම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉටුකරනවා. මේ වෙද්දී එයා මගෙත් දුවගෙත් සියලු වැඩකටයුතු අතපසු නොකර බොහොම පිළිවෙළට කරන්නෙ ලොකු කැපවීමකින්.

දැන් බිරිඳ රඟපෑව ඇති කියල ඔබට හිතෙන්නෙ නැද්ද?


රඟපෑම කියන්නෙ මගේ බිරිඳගෙ රැකියාව. ඉතින් ඇයි මම ඒක නවත්වන්නෙ. මමත් කලාවට බොහොම ආදරය සහ ගෞරව කරන කෙනෙක්‌ ඒ නිසා මම කවදාවත් එහෙම හිතෙන එකක්‌ නෑ. අනික බිරිඳගෙ කලා කටයුතුවලින් මටවත් මගේ පවුලටවත් කිසිම හානියක්‌ වෙලා නැහැ. උපේක්‌ෂාගෙ දක්‌ෂතා මොටකරන පාපෙට හවුල්වෙන්න මට වුවමනාවකුත් නැහැ.

මෙතෙක්‌ පැමිණි දුර ආපසු හැරී බැලුවොත්
සතුටක්‌ මිස දුකක්‌ නෑ. මොකද මම හැම අතින්ම දවසින් දවස ඉදිරියට ආපු කෙනෙක්‌. ව්‍යාපාරිකයෙක්‌ වශයෙන් සාර්ථක වුණ මට හොඳ සහකාරියක්‌ ලැබුණා. සෑම සාර්ථක මිනිසකුම පිටිපස්‌සේ ගැහැනියක්‌ ඉන්නව කියනවනෙ. ඒ අනුව මගේ සාර්ථකත්වය පසුපස සිටින උපේක්‌ෂා ස්‌වර්ණමාලි කියන ගැහැනියත් මගේ පුංචි දුව ධනුජිත් එක්‌ක ජීවිතය විඳිනවා.

ධම්මික හේවාවසම් (Divaina-Meewitha)
ඡායා - දිමුතු ප්‍රේමරත්න