රිපෝට් දෙන්න කියා ගෙට රිංගූ පොලිස් සැරයන්
විවාහක කාන්තාවට අතවර කරන්න ගොස්
ඇඳපොල්ලෙන් පහර කාලා


රාජකාරී අවශ්‍යතාවයක් සඳහා පොලිසියට පැමිණි කාන්තාවකගේ ලිපිනය දැනගෙන පසුව ඇය සිටින නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී ඇයට ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධ සිදුවීමක් කැබිතිගොල්ලෑව පොලිසියෙන් වාර්තාවේ.
මෙම අතවර තැතට ඉඩ නොදුන් කාන්තාව ඔහුට පොල්ලකින් පහරදීම නිසා බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා
අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව හදගල රලපනාවේ පදිංචිකාරියකි. ඇය සිය දරුවාට රැකියාවක් සඳහා යෑමට අවශ්‍ය පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට ගොස් තිබේ. එම අවස්ථාවේ

කාර්යභාරව සිට ඇත්තේ  මෙම සැරයන්වරයාය.
මුණගැසුණ වේලාවේ සිට ඇය ගැන වසඟයෙන් මෙන් බලමින් කථාකළ බව කියන සැරයන්වරයා අදාළ වාර්තාව ගැන කරුණුවලට අමතරව නිවසේ විස්තරද ඇගෙන් අසා දැනගෙන ඇත.

නිවසේ සැමියා වැඩට ගිය පසු ඇය තනිව සිටින බවද දැනගෙන ඇත.  වාර්තාව ගන්නට ආයෙ පොලිසියට රස්තියාදු වන්නට පැමිණිය යුතු නැති බවත් ඒ පැත්තේ තම ඥාතියෙකු සිටින නිසා ඥාතියා බලන්න යන වෙලාවේ වාර්තාව ගෙදරටම ගෙනත් දියහැකි බවත් සැරයන්වරයා දන්වා ඇත.

මේ අනුව වාර්තාවද අතැතිව එම කාන්තාවගේ නිවසට ඊයේ (21) ගොස් ඇති සැරයන්වරයා ඇය සමීපයට ගොස් වාර්තාව දෙන අතර සිරුර ස්පර්ශ කරමින් ඇය සිපගන්නට උත්සාහයක නිරතව තිබේ.
මෙම අවස්ථාවේ තමන් මෙම ක්‍රියාවන්ට අකමැති බව කාන්තාව දන්වා සිටියත් ඔහු කේන්තිය පෙන්වා බලහත්කාරයෙන් ඇයව කාමරයකට තල්ලු කර දොර වසා ඇය සිරකරන්නට උත්සාහ කර අතවර කිරිමට තැත් කර තිබේ.

එම අවස්ථාවේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ කාන්තාව කාමරයේ තිබුණ ඇඳක මෙට්ටය ඔසවා ඇඳ පොල්ලක් අතටගෙන තිබෙන අතර සැරයන්වරයාට කිට්ටුවන්නට ඉඩ නොතබා

පහරපිට පහර එල්ල කර තිබේ.
ඇඳ පොලු පහරකෑ සැරයන් වරයා ලේපෙරාගෙන බිම ඇද වැටුණ පසු කාන්තාව දොර ඇරගෙන එලියට ගොස් අවට සිටි අයගේ උපකාර ඉල්ලා තිබේ. අසල්වාසීන් සැරයන්වරයාව අල්ලා පුටුවක ගැටගසා අැත.
පොලිසිය පැමිණෙන විට ලේ පෙරාගෙන පුටුවක ගැටගසා සිටි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් බරපතල තුවාල ලද සැරයන්වරයා දැන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.මෙම අතවරය සිදුකරන්නට මාන බැලුවේ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කළ විශ්‍රාම යන්නට සූදානමින් පසුවූ 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස්ගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි විජිත් අල්විස් කටයුතු කර ඇත.
අත්අඩංගුවට පත්වූ සැරයන්වරයා උසාවියට ඉදිරිපත් කරන්නට නියමිතය.