දයාසිරිට රිළවා කිව්වාට 
මාලිංග වරද පිළිගනී  
- දඩයකට හා පරිවාස කාලයකට යටත්වේ

පසුගියදා හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගිරවුන්ගේ බෙනේ තියන ප්‍රශ්න බලන්න රිලව් ඇවිත් යයි උපමාවක්ද සමගින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විවේචනය කිරීමට හා තවත් විවිධ ආකාරයට තමන් වෙත ඇති ප්‍රශ්න ගැන කියමින් අප්‍රසාදය පළකිරීමට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග රජයේ පවතින ගිවිසුම ප්‍රකාරව
මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම අවසරයකින් තොරව සිදු කළ නොහැකි බැවින්

ලසිත් මාලිංග සම්බන්ධයෙන් මෙයින් පසු විනය පරීක්ෂණයක් පවත්වා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඊයේ සවස රැස්වී ලසිත් මාලිංග සිදු කර ඇත්තේ වරදක් බව තීන්දු කළ අතර ඔහු සිය වරද පිළිගෙන තිබෙයි.
ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ගැන කණගාටුවන බව ඔහු කියා ඇත.

ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇති අතර වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහි දඩුවම තරමක් ලිහිල්වී ඇත. ඒ අනුව මාස 06ක පරිවාස කාලයක් ඔහුට ලබාදී ඇත්තේ ඉදිරියට වරදක් කළොත් සමාවක් නැති කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය රීති මාලාව අනුව මීළගට සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ලසිත් මාලිංගට නියම කර තිබේ.
ඊයේ දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.
ලසිත් මාලිංගට දඩුවම් කරන්නට හේතුවූ ප්‍රකාශය පහතින්
‘ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිලව් බෙණේ ඉන්නවා කියලා. මොකද ගිරවා තමයි දන්නේ බෙණේ හදන විදිහ. ගිරවට තමයි බෙණේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගිහාම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්.

අපි එක බෝලයක් දාන්න බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. තීරණයක් ගන්න තියෙන්නේ තප්පරයක් වගේ පොඩි කාලයක්. ඒ කාලෙදි ගන්න තීරණය හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්.
හැබැයි පුටුවක් උඩ ඉඳගන එක එක විදිහට ඒ තීරණය කරකවලා තමන්ට වාසි වෙන විදිහට එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ සාධාරණය නෙවෙයි. ඒ වගේ ලොකු කතා කියන්න කලින් යුතුකම් තියෙනවා නම් ඒවා ඉෂ්ඨ කරන්න.


අවසිහියෙන් ක්‍රිකට් බලන අය කියන්න පුළුවන් බඩේ වැදිලා පන්දුව අතෑරුනා කියලා. නමුත් අපි දැකලා තියෙනවා. ලෝකයේ අංක එකේ තරුගකරුවන්ට පන්දු ගිලීහී යනවා. අවාසනාවකට එදා ඒ තරගයේ අවශ්‍ය වෙලාවක දි තමයි උඩ පන්දුව ගිලීහි ගියේ.
මට ආරංචි උනා බඩ වැඩී, ඒවා මේවා ලොකු කතන්දර කියලා ක්‍රීඩකයන්ට බැණලා තිබ්බා කියලා.

මේ ක්‍රීඩකයන් සැම දෙනාම දක්ෂතා දක්වලා තේරීම් කමිටුවක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සන මගින් තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගී උනේ එහෙමයි. අවසාන අනුමැතිය හම්බවෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාගෙන්.‘