හෝමාගම පිටිපන  පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරුවන්ගේ පුටු හිඟයට කඩිනම් විසඳුම්
ලබාදෙන්නට බලධාරීන් උනන්දු නොවීම නිසා එම උසස් පෙළ පන්තිවලට

ඇතුළත්ව සිටින සිසු දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා වාඩිගන්නේ පුටුවල නොව පැදුරුවල බව වාර්තාවේ.
2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පාසල වසරින් වසර ගොඩනැගිලි තනමින් සිසුන් ඇතුළත් කරගන්නා සංවර්ධනය කරන මට්ටමින් පවත්වාගෙන ගිය එකකි. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත්වූවන් උසස් පෙළ පන්තිවලට ඇතුළත්ව ඇත්තේ මේ වසරේ මුල් වතාවටය. එම සිසුසිසුවියන් ගණන 668 ක් වන අතර බාහිරින්ද 700 ක් සිසු දරුවන් උසස් පෙළට ඇතුළත්ව ඇත.
මේ නිසා ඇතුළත්වීම් අධිකවීම මත පුටු හිඟය මතුව තිබේ. විකල්ප ලෙස පැදුරු ලබාදී තිබෙන අතර සිසුසිසුවියන් ඒවායේ වාඩිවී අධ්‍යාපනය අරඹා ඇත.
මෙම ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇති බවත් විසඳුම් ඉක්මණින් ලැබෙනු ඇති බවත් විදුහල්පතිවරයා දන්වා ඇත.

------------
Update10.30 pm

මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති එම්. ආර්.ඩී.කේ. ගුණරත්න මහතා ඉහත පුවත සම්බන්ධයෙන් අප වෙත පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.එය පහත පරිදිය.

 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඩෙස් පුටු ඌණතාවක් පවතින බව සත්‍යයක් වන නමුත් දෙමාපියන් මාධ්‍ය වෙත දන්වා ඇති පරිදි පැදුරුවල සිසුදරුවන් වාඩි කර ඉගැන්වීමක් සිදු කරන බව මුසාවකි.ඩෙස් පුටු සැපයීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ඉටු කරමින් පවතින බවද ඔහු දන්වා ඇත.
උසස් පෙළ සඳහා බඳවා ගත් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 670ක් පමණ වේ. මෙම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දරුවන්  45 ක් පමණ අගනුවර වෙනත් පාසල්වල අධ්‍යාපනය ලැබීමට අස් ව ගොස් ඇති බැවින් බාහිර සිසුන් ලෙස බඳවාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. ඒ අනුව විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ දරුවන්ට අතිරේක ව තවත් සිසුන් 700ක් බඳවා ගෙන නැත.