6.4  ට ආවත් ආපස්සට ගිහින්
කැලණි ගඟේ ‘මහා ගංවතුර‘ අවදානම පහව යයි

ඊයේ දහවල් කාලය වන විට වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණ පරිදි කැලණි ගඟ උතුරා යාමේ මහා ගංවතුර අවදානම ඇතිවූයේ නැති බව ජල විද්‍යා අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය දන්වා සිටී. ඇය ඊයේ දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වද්දී නාගලගම්වීදිය ජල මාපකයේ අගය 5.3 ට පැවති අතර එය 7 ඉක්මවන්නේ නම් මහා ගංවතුර තත්වය ඇතිවන බව දන්වා සිටියා. රාත්‍රී 10 ට පමණ එම අගය 6.4 ට
වාර්තා වුවත්

ඊයේ රාත්‍රී කාලයේ එය අඩුව යාමේ ලක්ෂණ පෙන්නම් කර ඇත.
මේ නිසා මහා ගංවතුර තත්වයෙන් මිදී යාමේ ප්‍රවණතාවයන් පෙන්නුම් කර ඇති බව ඇය අද (27) උදෑසන දන්වා ඇත.
ඒ අනුව 2016 සිදුවූ තරම් හානියක් මෙවර සිදුවන්නේ නැති බවක් පෙනෙයි.නමුත් ඉදිරි දිනවල වැසිතත්වය මත මෙය වෙනස් වන්නටද ඉඩ තිබේ.

කෙසේ වෙතත් කැලණි ගඟ සාමාන්‍ය ගංවතුර තත්වය මත පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අවිස්සාවේල්ල, හංවැල්ල, දොම්පේ, කොළොන්නාව, කඩුවෙල සහ කැළණිය අවට පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
කැළණි ගග දෙපස සිටින ජනතාවට වහා ඉවත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කළ දැනුම් දීම අනුව ඊයේ රාත්‍රී කාලය වනවිට 3000 කට අධික පිරිසක් ඉවත්ව තිබුණි.