මියගිය පිරිස 122 දක්වා ඉහළට
නිල්වලා ගඟ අවට තවම අවදානම්
දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ

 ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව අද (28) වනවිට 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම අතුරුදන් පිරිස 100 පමණ බවට ගණන් බලා ඇත. දිස්ත්‍රික්ක 14ක පුද්ගලයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් (230,571) පීඩාවට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වාර්තා කර තිබේ.
නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතින අතර නිල්වලා ගඟේ බන්ඩත්තර බැම්ම
අවදානම් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම් දී තිබේ.
නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම. ප‍්‍රදේශවලින් ඉවත් කර ඇත.

අද (28) පෙරවරුවේ මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානම තවදුරටත් දක්නට ලැබෙන බවයි. නිල්වලා ගඟ මුහුදට වැටෙන කොටුවන ගංමෝයෙහි වැලි ඉවත් කිරීම අරඹා තිබුණද  ජලය ඉතා සෙමින් බැස යන බැවින් එය එතරම් සාර්ථක ක්‍රමෝපායක්  නොහැකි වී තිබේ.

බද්දේගම වේල්ලේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වන බැවින් අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දී ඇත.
ජලය කාන්දු වන ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර තිබේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවේශ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ.
දොඩන්ගොඩ සහ ගැලණිගම අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ දෙපසෙහිම රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(27) රාත්‍රි පින්නදූවේ සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනය අත්හිටුවා තිබුණි‍
ඉමදූව, කොක්මාදූව සහ ගොඩගම පිවිසුම් මාර්ගවලට සම්බන්ධ මාර්ග ජලයෙන් යටව තිබීම ඊට හේතුව බව අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
මේ අතර  කොළඹ දෙසට පැමිණෙන රථ වාහන වැලිපැන්න පිවිසුමෙන් පිටවිය යුතු අතර ගැලණිගම පිවිසුමෙන් යළි අධිවේගී  මාර්ගයට ඇතුළු විය හැකියි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සඳහා ඕනෑම හදිසි අවස්ථාවකදී 1969 අංකය අමතා තොරතුරු ලබා ගත හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

හෙට සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත්ය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද දන්වා ඇත.