දකුණු කොරියාවේදී අතුරුදන්වූ
ශ්‍රී ලාංකික තරුණයා ගැන පරස්පර තොරතුරු

පසුගිය අප්‍රේල් 16 වනදා සිට ආගිය අතක් සොයාගන්නට බැරිව තිබෙන දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුනයෙකු සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.
26 හැවිරිදි ශෂේන් ශානක ජයසේකර නමැති ඔහු ගාල්ල බද්දේගම පදිංචිකරුවෙකි.
මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවට යාමේ තරග විභාගයෙන් දිවයිනෙන් ප්‍රථමයාවී සමත්ව
කොරියාවේ රැකියාවට ගොස් සිටි දක්ෂ තරුණයෙකු වූ ඔහු අවිවාහකයෙකි. නිරන්තරයෙන්ම තම මව සමඟ කතා කර තිබෙන නමුත් අප්‍රේල් මස 16 වැනිදායින් පසු
සම්බන්ධවී නැත.
කෙසේ වෙතත් ඔහු සියදිවි නසාගත්තා වැනි දෙයක් සිදු කර ඇති බවට සැකකරන වැකි ඔහුගේ මුහුණු පොතේ ඇති බව යහළුවන් විසින් වාර්තා කර තිබේ.
මා මළ දවසට දුක්‌වෙන්න කවුරුත් නැහැ. හඬන්න කවුරුත් නැහැ යනුවෙන් ඔහු සටහන් තබා තිබුනි.
එහෙත් ශෂෙන්ගේ

මාමා වන ජයන්ත ඉලේපෙරුම  පවසා ඇත්තේ ශෂෙන්ගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළුවී එය විකෘතිකොට ඇති බවකි.
මේ අතර කොරියානු පොලිසිය සිදු කළ සොයාබැලීමේදී ඔහුගේ යයි සැකකරන මළ සිරුරක් හමුවී ඇති බවට ආරංචියක්ද පළව තිබේ.
දකුණු කොරියාවේ තෙගු ආසන්නයේ කැලෑබද කඳු වැටියක්‌ අසලදී හමුවී ඇති සපත්තු ජෝඩුව හා මුදල් පසුම්බියක්ද ඊට පහළින් මළ සිරුරක්ද හමුව තිබෙන අතර එම ශෂෙන්ට අයත් බවට සැක මතුව තිබේ.
ශෂෙන්ගේ අතුරුදන්වීම ගැන ඔහුගේ මාමා වන ජයන්ත ඉලේපෙරුම මෙසේ කියා ඇත.

‘මගේ නංගිගේ පුතා මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවේ රැකියාවකට ගියා. තෙගු නගරයේ පිහිටි සමාගමක තමයි රැකියාව කළේ. මේ පුතාගේ මවත් සයිප්‍රස්‌ රටේ රැකියාවක්‌ කරනවා. මවත් සමඟ පුතා නිතරම කතාකරනවා. අප්‍රේල් 16 වැනි දින තෙගු නගරයේ විහාරස්‌ථානයක්‌ අසල අවුරුද්ද නිමිත්තෙන් පැවැති සංගීත ප්‍රසංගයකට පුතා සහභාගිවෙලා තියෙනවා. නමුත් පුතා ඊට පසු මවට කථා කරලා නෑ. මව අපට කීවා පුතා ගැන තොරතුරක්‌ නැහැ හොයන්න කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට මේ ගැන පැමිණිලි කළා. නමුත් අදවන තුරු පුතා ගැන කිසිදු තොරතුරක්‌ නැහැ. මේ ගැන විවිධ තොරතුරු කොරියාවෙන් ගලාගෙන එනවා. නමුත් ඒවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ.
පුතාගේ මුහුණු පොතේද පුතා අතුරුදන්වීමට පෙර නොයෙකුත් දේවල් පළවෙලා තියෙනවා. පුතාගේ ජංගම දුරකථනය එරට ප්‍රාන්ත පොලිසියක තියෙන බවත් කියනවා. සපත්තු ජෝඩුව හා පර්ස්‌ එක ගැනත් කියනවා. මට හිතෙන විදියට පුතා කිසියම් පිරිසක්‌ විසින් හිරකරගෙන ඉන්නවා. මේ දරුවාගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළත් වෙලා යම් යම් දේවල් දමලා කියලත් අපට හිතෙනවා. පුතාගේ මුහුණු පොතේ මරණයේ අනියත ගැන දමලා තිබුණා. පුතා එහෙම දරුවෙක්‌ නෙමෙයි. මේ ගැන විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය තවමත් හරිහැටි යොමුවෙලා නැහැ. කොරියාවේ දී අතුරුදන්වී ඇති මේ දරුවා සොයාදීමට උදව් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.‘