පේරාදෙණිය විශ්වවිද්‍යාලයේසමාජ විද්‍යා අංශයේ  මහාචාර්ය දයා අමරසේකර සිංහල අවුරුද්ද ගැන දක්වා තිබෙන අදහසක් පහත පරිදිය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වටා ඊට ආවේනික ජ්‍යොතිෂ්‍යය හා පාරම්පරික ඥානය, සම්ප්‍රදායික අංග, සාරධර්ම රැසක් බැඳී පවතී. රටම එක්ව සමරනු ලබන අලුත් අවුරුද්ද සංකල්පීය වශයෙන් උත්තම උළෙලෙකි.
ස්වභාව ධර්මයේ මැවුම්කරු වන හිරු මූලික කර ගනිමින් අලුත් අවුරුද්ද සැමරුමද සිදු කෙරෙයි. පෘථිවිය සූර්යයාගෙන් ඈත්ව ගමන් කරමින් සිට ක්‍රමයෙන් ඊට ළංවෙත්ම සමකය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාව ඇතුළු කලාපයට සෞම්‍ය කාලගුණික තත්ත්වයක් උදා වෙයි. ගස්වල මල් පුබුදුවමින් සුන්දර පරිසරයක් නිමවෙත්දී වසන්ත උදාව ලෙස එය සලකමින් අතීත වැසියෝ අලුතින් ජීවිතය ආරම්භ කරන්නට පටන් ගත්හ. ඊට ප්‍රවේශයක් වශයෙන් දින කිහිපයක් සතුටින් විනෝදයෙන් ගත කර යළි ජීවනෝපාය මාර්ගයන් නැවුම් ජවයකින් යුතුව ඇරඹීම එකල සිට දැකිය හැකිව තිබූ ලක්ෂණයකි.

ප්‍රාදේශීය වශයෙන් සෑම ගම් පළාතකම අවුරුදු උළෙල සංවිධානය කිරීම මඟින් රටම අවුරුදු සිරියෙන් බැබලිණි. සාමූහිකත්වය, තරුණ ජවය හා හැකියාව පමණක් නොව විනෝදය, ආශ්වාදය මුසු වූ ක්‍රීඩාවන් තුළින් ගමේ ප්‍රජාව අතර සමඟිය සංහිඳියාව ගොඩ නැගුණි. හිරු මූලික කර ගනිමින් ජ්‍යොතිෂ්‍යයවේදය අනුව නිර්මාණය වූ සුබ නැකැත් අනුව අවුරුදු උදාව, ආහාර පිසීම, ගනු දෙනු කිරීම, හිසතෙල් ගෑම ඇතුළු චාරිත්‍ර ගණනවාක් සිදු කෙරුණු අතර වර්තමානයේ මේ සියල්ල යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙමින් උඩු යටකුරු වී තිබේ.

දියවී යන වටිනාකම්

කිසියම් වූ ගණිත ක්‍රමයක් පදනම් කර ගනිමින් අනාදිමත් කාලයක සිට පැවැත එන ජ්‍යොතිෂය වාසි සඳහා යොදා ගන්නා පිරිසක් අද බිහිව සිටින බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. දේශපලනඥයන් පිනවීමටත් ඔවුන් ගෙන් වාසි ලබා ගැනීමටත් මෙම විෂය අද බහුතරයක් යොදා ගන්නා බව පැහැදිලිව පෙනෙන්නට ඇත. පසුගිය ජනපතිවරණයේදී මෙම තත්ත්වය පැහැදිලිව දැක ගැනීමට මෙරට ජනතාවට අවකාශ සැලසුණු අතර එය තවමත් නිම‍ නොවෙමින් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදීද දක්නට ලැබිණි. ජ්‍යොතිෂවේදීන් පිල් දෙකකට බෙදී මත දෙකක් පළ කිරීම මඟින් ඒ පිළිබඳ විශ්වාසයකින් පසුවන ජනතාව කිසියම් වූ අවුලකට පත් වූ අතර මෙය මුළුමනින්ම පෞද්ගලික ලාභ ප්‍රයෝජන අරමුණු මුදුන් පමුණුවා ගනු පිණිස ක්‍රියාකරන පිරිස් සුලභ වීම තුළ මතුවන තත්ත්වයකි.

අද වන විට සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ එදා පැවැති සංකල්ප බොහෝ දුරට වෙනස්ව ඇත. මොහොතින් මොහොත වෙනස් වන ලෝකයේ මුදල් ප්‍රමුඛතම සාධකය බවට පත් වීම තුළ සියල්ලට මුදලින් වටනාකම් ලබා දෙන තත්ත්වයට සමාජය පත්ව තිබේ. සංස්කෘතික වටිනාකම් පවා මුදලට අලෙවි වන සමාජයක අතීත සාරධර්ම පිළිබඳ කතා කිරීම විහිළුවකි. ලාභය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක සමාජය තුළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ වටිනාකම දිය වී යමින් තිබෙන අයුරු පසුගිය දශක කිහිපයක සිට අපට පැහැදිලිව දක්නට ලැබේ. මේ නිසාම අලුත් අවුරුද්ද නමැති දැවැන්ත සංස්කෘතික උළෙල දැවැන්ත සංස්කෘතික කර්මාන්තයක් බවට පත් වෙමින් ඇත. මේ තුළ සංස්කෘතික සාරධර්මීය අගයන් දැකිය හැක්කේ ප්‍රදර්ශනාත්මකව පමණි. ‍

වර්තමාන අවුරුදු උත්සවය නාගරික නව පාරිභෝගිකවාදී සංස්කෘතික ආකෘතියකට අනුව ආකෘතිගත කිරීමක් අද පැහැදිලිව පෙනෙන්ට තිබේ. මෙම පසුබිම තුළ ග්‍රාමීය ජනතාව අතර පැවැති සාමූහිකත්වය සුණු විසුණු කර ඒ තුළට වාණිජ හෝ දේශපාලනික අරමුණු ඇති ආයතන හෝ ව්‍යාපාරිකයින් රිංගා අවුරුදු උත්සව සංවිධානය කරන පසුබිමක් නිර්මාණය වී ඇත. මොවුහූ සංස්කෘතික වටිනාකම් ඩෝසර් කරමින් ලාභය හෝ වෙනත් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම පිණිස මෙම උදාර උත්සවය භාවිත කරමින් සිටිති.

එකල ග්‍රාමීය මට්ටමින් පැවැති අවුරුදු උත්සව අද දක්නට නොමැත. ඒ පෙර සඳහන් කළ පිරිස් ප්‍රදේශයක් ආවරණය වන පරිදි සංවිධානය කරනු ලබන අවුරුදු උත්සව කරා තරුණ පිරිස් ආකර්ෂණීය වීමය. ජයග්‍රාහකයන්ට ඉහළ තෑගි භෝග ලබා දෙමින් ගම්මාන කිහිපයක ප්‍රජාව ආකර්ෂණය කර ගනිමින් අවුරුදු උත්සව සංවිධානය කරන විට ගමක එවැනි උත්සවයක් සංවිධානය කරන්නට කිසිවකු ඉතිරි වන්නේ නැත. මේ නිසා අද අවුරුදු කාලය ඇල්මැරුණු ස්වභාවයෙන් ගෙවා දැමීමටත් කාබී විනෝද වන දින කිහිපයක් බවට පත්කර ගැනීමටත් තරුණ ප්‍රජාව පුරුදු වී සිටිති.

අවුරුදු නරඹන්නෝ


වර්තමාන සමාජය බෙහෙවින් සංකීර්ණය. පුද්ගලයා නිතර අවිවේකීය. පවුල නමැති ඒකකයේ සාමාජිකයන් එකට හමු වී අදහස් හුවමාරු කරගන්නා අවස්ථා විරලය. මේ නිසාම එකම පවුලේ මව, පියා, දරුවන් හැරුණු විට මවගේ හා පියාගේ ඥාතීන් දරුවන්ට ආගන්තුකයින් බවට පත්ව තිබේ. අතීතයේ එවැනි තත්ත්වයක් නොතිබුණේය. අලුත් අවුරුද්ද තුළ පවුලේ සාමාජිකයින් හෝ පවුලේ අය එක්ව කරන ක්‍රීඩා මෙන්ම මුළු ගමම එක්ව කරන ක්‍රීඩාද දක්නට ලැබේ. පංච දැමීම වැනි ක්‍රීඩා වැටෙන්නේ මුල් ගණයටය. කොට්ට පොර, ගම හරහා දිවීම, ග්‍රීස් ගසේ නැගීම වැනි ක්‍රීඩා වැටෙන්නේ දෙවැනි ගණයටය. අනෙක් විශේෂ කරුණ වන්නේ අවුරුදු උත්සවයකදී ගමේ කාටත් දක්ෂතා දක්වන්නට අවස්ථාක් ලැබීමයි. අධ්‍යාපනයෙන් ඉහළ පුද්ගලයාගේ සිට අධ්‍යාපනයක් නොලද අයෙකුට පවා මේවාට සහභාගී වී දක්ෂතා දැක්වීමේ පසුබිමක් තිබිණි. කවුරුන් හෝ කොන්වීමක් එහි දක්නට නොලැබිණි. ග්‍රීස් ගසේ නැගීම ඊට එක් උදාහරණයක් පමණි.

අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව ගොස් තිබේ. අද බොහෝ විට ගමේ ජනතාවට සිදුව තිබෙන්නේ මධ්‍යය තුළ ජනප්‍රිය තරු අවුරුදු සමරන හැටි බලා‍ සැනසෙන්නටය.

අවුරුදු දින අද ගම පාළුය. ගමේ පන්සල පාළුය. ගමේ පාසල ළමයි නොමැතිව වැසී ඇත. තරුණයෝ එක පිම්මේ අවුරුදු සැණකෙළි නැ‍රැඹීමට නගරයට සේන්දු වෙති. වැඩිහිටියෝ ගමේ තනි වෙති. සාරධර්ම සියල්ල පිරිහී ගොසිනි. අවුරුදු චාරිත්‍ර අද ප්‍රචාරය කරන්නේ වෙළෙඳ අරමුණු සඳහාය. අපි නොදැනුවත්වම එහි ගොදුරු බවට පත්ව සිටිමු.

අවුරුද්දේ ගැබ්ව තිබූ වටිනා කොටස් අත හැර හරසුන් කොටස් පමණක් ජනතාව සුරැකිව අනාගතයට රැගෙන යමින් සිටිති. අනාගතය භාර ගන්නට සිටින තරුණ පරපුර සැබෑ අවුරුද්ද ලෙස ග්‍රහණය කරමින් සිටින‍්නේ මෙම හරසුන් දේය. එය ඉදිරියේදී තවත් වෙනස් වනු ඇත. එය අපට වෙනස් කළ නොහැකි නොනැවතී ඉදිරියට ගමන් කරනා ක්‍රියාවලියකි.

අවුරුද්දේ අපි අනුස්මරණය කරනු ලබන්නේ සැබෑ මිනිස් ගුණදම්ය. වටිනා සාරධර්මයන්ය. අද ඒ සියල්ල වෙනස්ව ප්‍රචාරාත්මක පසුබිමක සූරිය මංගල්‍යය ලෙසින් අවුරුද්ද හැඳින්වීම වරදකි. සූර්ය මංගල්‍යයත් සමඟ ස්වභාවිකව දක්නට ලැබෙන පරිසරය අද තමන්ට අවැසි ලෙස ව්‍යාපාරිකයෝ වෙනස් කරගෙන තිබේ. ඒ තුළ ගොඩනැගෙන නූතන සංස්කෘතික වෙළෙඳ පොළේ සාමාන්‍ය මිනිසා සිරකරුවකු බව‍ට පත්ව සිටියි. අවුරුද්දේ සැබෑ අරුත තේරුම් ගැනීමට අවශ්‍ය විවේක බුද්ධිය අද මිනිසාට නොමැත. අලුත් අවුරුද්දේ පැ‍රැණි අගයන් සොයා යෑම අඳුරේ අතපත ගෑමක් වන්නේ ඒ නිසාය.

සටහන - අසේල කුරුළුවංශ