මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් පරීක්‌ෂණ වාර්තාවට අදාළව විමර්ශන පවත්වන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇත.
මෙම ගනුදෙනුව
සම්බන්ධයෙන් වර්තමාන මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති පැමිණිල්ල ද සමගින් කෝප් පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු උපයෝගි කර ගනිමින් අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව කළ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නීතිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සහිත මෙම ලිපිය කථානායකවරයා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

කෝප් පරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා වෙත යොමු කළ බවද ඒ අනුව නීතිපතිවරයා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ලිපියක්‌ එවා ඇතැයිද කථානායකවරයා කීවේය.
(අජිත් අලහකෝන්)