පානදුර අගමැති බාලිකා පාසල අසල පදික මාරුම මතින් (කහ ඉර) මාරුවීමට ගිය මවක්‌ මාතර සිට කොළඹ බලා ධාවනය වූ
පෞද්ගලික බස්‌ රථයක
ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

ඊයේ 17 දා පෙරවරු 11.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර තුඩුව ප්‍රදෙශයේ පදිංචි වඩුගේ රන්දිමා ජීවන්ති නමැති 26 හැවිරිදි එක්‌දරු මවකි.

ඇය සමග ඇගේ දරුවා ද පාර මාරුවීමට ගොස්‌ ඇත. වේගයෙන් එන බසය දැක මව විසින් පදික වේදිකාව දෙසට දරුවා තල්ලු කිරීම නිසා දරුවා බේරී තිබේ.

බස්‌ රථයේ රියෑදුරු වූ දෙහිපිටිය වැලිගම පදිංචි දොන් චන්ද්‍රසිරි දෙනිපිටිය (51) නමැත්ති අය පානදුර පොලිස්‌ රථවාහන අශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර පොලිස්‌ රථවාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සරත්චන්ද්‍ර, පොලිස්‌ සැරයන් (33093) ජයසිංහ, පොලිස්‌ කොස්‌තාපල් (71933) සමරසිංහ යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

පානදුර විජිතා ලියනගේ