වේයන්ගොඩ, කුඹල්ලොලුව ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ මාතාවකට කොස්සකින් පහරදී මරා දමා ආනන්තරීය පාපකර්මයක් කරගත් පුතකු ගැන වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අමරසිංහ පේඩිගේ විමලාවතී (73) නමැත්තියකි. වේයන්ගොඩ පොලිසිය පවසන අන්දමට
මියගිය මව ජීවත් වූ එම නිවෙසේ සැකකාර පුතා හා ඔහුගේ බිරිය ජීවත් වී ඇත. බීමතින් පැමිණ තම මවට කොස්සෙන් පහරදී ඇත්තේ මියගිය මවගේ උකුළු ඇටයේ ඇති ආබාධයට ඇය නිසි ප්‍රතිකාර නොකරන බවට චෝදනා කරමිනි.

මවට පහර දීමෙන් හිස තුවාල වී තිබේ. ලේ තැවරුණු කොස්සක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. වැදූ මව මරා ආනන්තරීය පාප කර්මය සිදු කර ගත් ලේකම්ලාගේ සරත් කුමාර (52) නමැත්තා පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් එස්. අබේගුණවර්ධන මහතා ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේදී සිදුකිරීමට නියමිතය. සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (14දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පො.ප. චන්දන කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ පො. ප. ප්‍රභාත් කුලතුංග, උ.පො.ප. සුනිල්, පොලිස් සැරයන් සුමිත් (31541) සහ පො. කො. සේනාරත්න (86092) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු)